ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.
හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාස, දීමනා සහ වාහන ඇතුළු වරප්‍රසාද ඉවත් කෙරෙන ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පැවැත් වූ අතර ඒ අනුව පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා අදාළ විවාදය පැවැත්වීය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. අදාළ කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරිපත් කරමින් කථානායකවරයා සඳහන් කළේ කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවයි.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එමගින් හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව අත්හිටුවීමට යෝජනා කර තිබුණා.
