භාරතීය ජනතා පක්‍ෂය මෙරටට එන්න හදන්නේ නැගෙනහිර ජැටිය නොදුන් කෝපයෙන් විය හැකියි..

Sri Lanka
By Thaya Feb 17, 2021 05:00 PM GMT
Thaya

Thaya

Report

මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙන භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් යටතේ ශ්‍රී ලංකාවේ රජයක් පිහිටුවන බව ඉන්දීය අමාත්‍යවරයෙක් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව මාධ්‍යවේදීන් පිරිසක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසා සිටියේය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව නිදහස් හා ස්වාධීන රටක්. ඊට බාධා කරන්නට හෝ අත පොවන්නට හෝ කිසිදු රටකට ඉඩක් හෝ අයිතියක් නොමැති බවයි. ජනමාධ්‍ය තුළ පළ වී ඇති අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය ගැන තමන් නොදන්නා බව කී අමාත්‍යවරයා නිදහස් රටක් වශයෙන් එවැනි අත පෙවීම් කවර රටක් වුවද සිදු කරන්නේ ඒ සඳහා වත්මන් රජය වශයෙන් විරෝධය පළ කරන බවත් සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට නොදීම නිසා මෙවැනි අදහසක් ප්‍රකාශ කලා දැයි මාධ්‍ය වේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. දේශීය සම්පත් ඉන්දියාවට නොව වෙනත් කවර රටකට වුව පැවරීම සම්බන්ධව තමන් කවදත් විරුද්ධ බව අමාත්‍යවරයා කීය. ඇතැම් විට මෙවැනි මතයක් ඉන්දීය දේශපාලනඥයෙක් විසින් ප්‍රකාශ කරන ලද්දේ ජැටිය ඉනිදීය සමාගමට නොදුන් නිසා විය හැකි යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. අප රටේ රජයක් පිහිටුවන්නේ මේ රටේ ජනතාව මිස ඉන්දියාවේ ජනතාව නොවන බවත්, රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා රටක ජනතාව විසින් රජයන් පත් කර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.