ෂෙයික් හසීනාගේ යළි පැමිණීමේ සැලසුමත් සමඟ රට පුරා ආරක්ෂාව තර කෙරේ
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි සිය රටට පැමිණීමට සැලසුම් කර ඇති බවට පළවන වාර්තාත් සමඟ එරට උද්ගත වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ආරක්ෂක විධිවිධාන තර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව, රට පුරා අතිරේක පැරාමිලිටරි භට පිරිස් සිය ගණනක් ද යොදවා ඇති බව වාර්තා වේ.
2024 අගෝස්තු මාසයේදී ඇති වූ ආණ්ඩු විරෝධී ජනතා නැගිටීමෙන් අනතුරුව ඉන්දියාවට පලාගිය ෂෙයික් හසීනා, ලබන දෙසැම්බර් මාසයේදී යළි බංග්ලාදේශයට පැමිණීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
ඒ සඳහා නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසද ඇය ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ සමඟ තහනම් කර ඇති ඇයගේ අවාමි ලීග් පක්ෂයේ සාමාජිකයන් සහ ආධාරකරුවන් විරෝධතාවල නිරත වන බවද වාර්තා වේ.
මේ අතර, පසුගිය දින දහය තුළ දිස්ත්‍රික්ක 28ක පමණ බෝම්බ පිපිරීම් සහ වාහන ගිනි තැබීම් රැසක් වාර්තා වී තිබේ. එම සිදුවීම්වලින් පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
අඟහරුවාදා රාත්‍රියේ පාලක බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ඝාතනය කර ඇති අතර, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටද බෝම්බයක් පුපුරා ගොස් තිබේ.
එමෙන්ම, බදාදා අලුයම දකුණු පිරෝජ්පූර් දිස්ත්‍රික්කයේ බස් රථ දෙකකට ගිනි තැබීමේ සිදුවීමකින් පුද්ගලයෙකු පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වේ.
බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - ශ්‍රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්
නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස් විසින් ආරම්භ කරන ලද ග්‍රාමීන් බැංකුවේ ශාඛා සහ කාර්යාල 37කට වැඩි සංඛ්‍යාවක්ද ගිනි තැබීම්වලට හෝ එවැනි උත්සාහයන්ට ලක්ව ඇති බව එම බැංකුව ප්‍රකාශ කර තිබේ.
මේ අතර, පසුගිය පැය 24 තුළ තහනම් සංවිධානවල සාමාජිකයන් 71 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඩකා පොලිසිය සඳහන් කරයි.
විදේශගතව සිටින අවාමි ලීග් නායකයන් බංග්ලාදේශය තුළ නොසන්සුන්තාව ඇති කිරීමට සහ ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වන ලෙස සිය ආධාරකරුවන් පොළඹවන බවටද බංග්ලාදේශ රජය චෝදනා කර තිබේ.