මොරටුව හිටපු නගරාධිපතිගේ ඇප කොන්දේසිය සංශෝධනය නියෝග
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප කොන්දේසියක් සංශෝධනය කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කළා.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා මොරටුව මහ නගර සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බව පැවසීය.
කෙසේවෙතත්, අධිකරණය විසින් පනවා ඇති ඇප කොන්දේසියක් හේතුවෙන් ඔහුට මොරටුව මහ නගර සභා පරිශ්‍රයට ඇතුළුවීම තහනම් වී ඇති බැවින්, එම කටයුත්තට සහභාගි වීමට නොහැකි වී ඇති බව නීතිඥවරයා සඳහන් කළේය. ඒ අනුව අදාළ ඇප කොන්දේසිය සංශෝධනය කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් මොරටුව මහ නගර සභා පරිශ්‍රයට සැකකරුට ඇතුළුවීමට හැකිවන පරිදි ඇප කොන්දේසිය සංශෝධනය කිරීමට නියෝග කළේය. ඊට අනුව මෙම නඩු පැමිණිල්ල ජුනි මස 12 වනදා නැවත කැඳවන ලෙසද අධිකරණය නියම කළා.
මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘති කොන්ත්‍රාත් 112කට අදාළ ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් තම හිතවතුන්ට ගෙවීම් සිදුකර රජයට පාඩුවක් සිදු කළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.