තත්ත්වය බරපතළයි - ආණ්ඩුව ගැන විශේෂඥ වෛද්‍යවරුන් දුන්න ‌වෛද්‍ය සහතිකය..

sri lanka special announcement Sri lanka sinhala news Today trending news
By krishani Apr 11, 2022 08:21 AM GMT
krishani

krishani

Report

මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව සහ එය තමන්ට පැහැදිලි බව ‘ශ්‍රී ලංකාවේ වර්තමාන (ආර්ථික) අර්බුදය’ මැයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

පාලනයට එරෙහිව නැඟෙන සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය තම සංගමය අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති නිසා බව ඔවුන් පවසයි.

එම නිවේදනය මෙසේය.

“ශ්‍රී ලංකාව නිදහසෙන් පසු අත්විදින විශාලම ආර්ථික අවපාතය මේ අවස්ථාවේ දී අත්විදිමින් සිටින බව, දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, ගෘහස්ථ ගෑස්, ඛනිජ තෙල් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිගය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉතා විශාල ලෙස වැඩි වීම වැනි කරුණු වලින් පැහැදිලි වන අතර එය දුර්වල රාජ්‍යය පාලනයේ අතුරු ඵලයක් බව ඉතා පැහැදිලි කරුණකි.

තමන්ගේ දේශපාලන මතිමතාන්තර අතහැර රට වැසියන් ලෙසින් එක්ව පල කරන විරෝධතා, මෙම ප්‍රශ්නයට ඉක්මන් විසදුම් සෙවීමට රජයට කරන දැඩි බලපෑම මනාව පිළිබිඹු කරයි. මෙම ක්‍රියාවලිය යම්කිසි රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් ලෙස රජය විසින් හුවා දැක්වීම අප දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමු.

මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව අපට පැහැදිලිය. මෙවැනි සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය අප අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති බැවිනි.

අප ඉතා දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලුම සාමාජිකයන්ගේ උපදෙස් හා යෝජනා ලබා ගැනීම මගින් ඉතා ප්‍රජාතාන්ත්‍රික ලෙස මෙම අර්බුදය හමුවේ විසඳුම් සෙවීම ඉතා වැදගත් බවත්, ඉතාමත් දුර්වල දේශපාලන හා බුද්ධිමය පසුබිමක් ඇති පුද්ගලයන් විසින් මෙම රජයට දුන් උපදෙස් හරහා මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවත්ය.

මේ හේතුවෙන් රටේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් පවා සැපයීමට රජයට නොහැකි තත්ත්වයක් උදාවීම අතිශය කනගාටුදායක කරුණකි .දැනට පවතින ප්‍රධාන අර්බුදය ආර්ථික මෙන්ම මූල්‍යමය වන එකක් බැවින් අප යෝජනා කරන්නේ මෙම කරුණු පිළිබඳව මෙන්ම දේශිය සහ විදේශීය වෙළඳාම පිළිබඳ විශේෂඥ දැනුම ඇති අවංක, කාර්‍යක්ෂම කමිටුවක් විසදුම් සෙවීම සදහා පත් කිරීම වැදගත් බවයි.

මේ සඳහා මෙම කමිටුව කඩිනම් අධ්‍යනයක යෙදීම වැදගත් වන අතර එමගින් විධිමත් යෝජනා ඉදිරිපත් කර දැනට රටේ සියලුම කොටස් මුහුණ පා සිටින මෙම දැඩි අර්බුදයෙන් ගැලවීම සඳහා කටයුතු කිරීම මේ අවස්ථාවේදී ඉතාම අත්‍යවශ්‍ය දෙයකි.

රජය විසින් සත්භාවයෙන් ආරාධනා කරන්නේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විවිධ වෘත්තිකයන්ද මෙම අවස්ථාවේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන බව අපගේ හැඟීමයි. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මෙම අවදානම් සමයේදී මුහුණ දීමට සිදුවිය හැකි සෞඛ්‍යමය ගැටලු විසඳීමට සහාය වීම සදහා අප සංගමය බැදී සිටින බව අපි අවධාරණය කරමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join