සජිත්ට සුබ පතා අශෝක අබේසිංහ සජබයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා එම පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ බව ලිපියක් මගින් දැනුම් දී ඇති ඔහු, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සුබ පැතුම් එක් කරමින්, මාතෘ භූමියේ පළමු පුරවැසියා බවට පත්වීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කර ඇත.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අශෝක අබේසිංහ මහතා පසුව සමගි ජන බලවේගයට එක්වූ අතර, එහි කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
මීට අමතරව, ඔහු සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙසත්, එම පක්ෂයේ සේවක සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ. එසේම, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් ධුරය ද ඔහු විසින් දරනු ලැබීය.
මෙම සියලු තනතුරුවලින් ඉවත් වන බව දැනුම් දී ඇති අශෝක අබේසිංහ මහතා, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන බව අදාළ ලිපියෙන් දන්වා ඇත.