විමල්ගේ බිරිඳටත් වැඩ වරදීද? - ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුවට අලුත් දිනයක්
අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩුව මේ මස 26 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.'
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට අදාළ මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී, සිරදඬුවම් නියම වී දැනට ඇප මත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
තමන්ට නියම කළ සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් ද තහවුරු කර ඇති බවත්, එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, අදාළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කිරීම සඳහා නඩුව මේ මස 26 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.