පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට ලීක්වුනු මැතිසබේ හුටපටය - තානාපතිලාත් සීරැවෙන්
පාර්ලිමේන්තු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ හා වංචා චෝදනා සහ වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ තත්ත්වය සම්බන්ධයෙන් මෙරට බොහෝ තානාපති කාර්යාල විශේෂ අවධානය යොමු කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තානාපති කාර්යාල කිහිපයක් මෑතකදී මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ තොරතුරු සොයා බැලීම් සිදු කර ඇති බවද දැනගන්නට ඇත.
චමින්ද කුලරත්න මහතා සතුව එම චෝදනාවලට අදාළ සාක්ෂි ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව පිළිබඳවද තානාපති කාර්යාල අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
මේ අතර, කතානායකවරයාට එරෙහි දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉකුත් සිකුරාදා විමර්ශන ආරම්භ කර බවට වාර්තාවේ. චෝදනා තහවුරු කිරීම සඳහා අදාළ ලේඛන පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ලබා ගැනීමට කොමිෂන් සභාව මේ දිනවල කටයුතු කරමින් සිටී.
චමින්ද කුලරත්න මහතා විසින් කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු අංශ ප්‍රධානීන්ගෙන් වාර්තා ගැනීමට උත්සාහ දැර ඇති බව වාර්තා වේ. මෙම සිද්ධිය අල්ලස් කොමිසමට බලපෑමක් ලෙස සැලකෙන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් කොමිසමට පැමිණිලි කිරීමට සැරසෙමින් සිටිති.
එසේම, තම සේවයෙන් ඉවත් කිරීමේ තීරණයට එරෙහිව චමින්ද කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ අද (10) නඩු පැවරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය පාර්ලිමේන්තු ඉතිහාසයේ නියෝජ්‍ය මහලේකම්වරයෙකු විසින් කතානායකවරයෙකුට එරෙහිව දූෂණ චෝදනා එල්ල කළ ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. චෝදනා අතර නීති විරෝධී වාහන හා ඉන්ධන භාවිතය, අමතර දිවා ආහාර පහසුකම්, නිල නිවාස දෙකක් භාවිතය, තොරතුරු ප්‍රතික්ෂේප කිරීම ආදිය ඇතුළත් බව වාර්තා වේ. කතානායකවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.