රටම කැළඹුණු මනුස්ස ඝාතනයේ සුලමුල එළියට - හිස කදෙන් වෙන් කරලා පිළිමේ ගහපු අපරාධේ ඇග හිරිවැටෙන අනාවරණයක්
පොලිසිය විසින් අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පිහිටි නිවසකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර, ඔහුගේ හිස රැගෙන ගොස් ප්‍රදේශයේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුවෙහි දෑත් මත තබායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කරගෙන ඇත. මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගයෙකුගේ සහෝදරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
තවද රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු මෙම ඝාතනය සම්පූර්ණයෙන් මෙහෙයවා ඇති බවටත් තොරතුරු ලැබී ඇත. ඝාතනය ලක් වූයේ ලක්මාල් සඳරුවන් හෙවත් 'පොඩී' නැමැති 34 හැවිරිදි අයෙක් වන අතර පසුගිය මැයි 11 වැනිදා රාත්‍රියේදී මෙම ඝාතනය සිදුව ඇත්තේ ඔහුගේ උපන්දිනය දවසේ බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය වූ පුද්ගලයා 2025 වසරේ පෙබරවාරි මස 2 වැනිදා මාමඩල ප්‍රදේශයේම සිදුවූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු බවට මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඉකුත් මාර්තු මස 30වනදා ඇපමත මුදාහැර ඇත. ඒ අනුව සැකකාර පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඔහුව ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබේ. එලෙස පැමිණ ඇත්තේ සලිත උදයංග මල්ලිකාරච්චි නොහොත් 'මෙත්ත ලොකු', චමීර උදයංග හා සාරංග දර්ශන නමැති තිදෙනාය.
ඊයේ මුළු අම්බලන්තොටම නොසන්සුන් කරමින් පිළිරුවක් මත හිස තබා ගිය සැකකරුවන් අත්අඩංගුවට - ඝාතනය කරද්දි දරුවොයි බිරිඳයිත් ගේ ඇතුළේ
එම තිදෙනා ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. ඔවුන්ගෙන් චමීර උදයංග නැමැත්තාව සිද්ධිය වූ දිනම අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, අනෙක් දෙදෙනා අද (13) පස්වරුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඝාතනය වූ පුද්ගලයා ඇතුළු කණ්ඩායමක්, ඝාතනය කළ බව කියන තිදෙනා අතර සිටි අසංක මල්ලිකාරච්චි නොහොත් 'මෙත්ත පොඩී' නැමැත්තා අත්අඩංගුවට පත් වූ සලිත උදයංග මල්ලිකාරච්චි හෙවත් 'මෙත්ත ලොකු' නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයෙක්ය. සිය සහෝදරයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බව පොලිසියට පැවසීය.
'මෙත්ත පොඩී' නැමැත්තා ඇතුළු තිදෙනාව ඝාතනය කර තිබුණේ ප්‍රදේශයේ සිදුවන මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදෙන බවට ඇති වූ සැකයක් මත බව සඳහන්ය. අදාළ ඝාතනයට සම්බන්ධවූවන් බියකිරීමේ අරමුණින් ඝාතනය වූ 'පොඩී' නැමැත්තාගේ හිස රැගෙන ගොස් රත්නාවලී දේවී පිළිරුවේ ගැසූ බවද සැකකරුවන් පොලිසිය හමුවේ පවසා ඇති බව වාර්තා වේ. බීමතින් පැමිණ පිරිස මෙම ඝාතනය කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කළේය. එමෙන්ම හිස කඳින් වෙන්කර රැගෙන යෑම සම්පූර්ණයෙන්ම සැලසුම්කර ඇත්තේ, 'මෙත්ත පොඩී' නැමැත්තාගේ මවගේ සහෝදරයෙකු වන රංජිත් ප්‍රියන්ත එදිරිවීර නොහොත් 'කරුණ ලොක්කා' නැමැත්තා විසින් බවට පොලිසිය සැක පලකරයි.
අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති 'කරුණ ලොක්කා' ඝාතනය සිදුවූ දින උදෑසන තමන්ට එරෙහිව මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබේ. එහිදී ඔහුට ඇප තැබීමක් සිදු වී නොමැති හෙයින් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.
එයද ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බවට එල්ලවන චෝදනා මගහැරීම සඳහා සිදුකළ එකක් බවට පොලිසිය සැකපළකරයි. ඔහු මෙම ඝාතනය සිදුකරන බවට සැලසුම් කරන බවට ද ආරක්ෂක අංශවෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ. නීතිවිරෝධී මත්පැන් ජාවාරම හේතුවෙන් ඇතිවූ ආරවුල් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතන සිදුව ඇති බව පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී විජේබන්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්තොට පොලිසියේ ස්ථානධිපති අමිල රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලබයි.