සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Central Bank of Sri Lanka The Bank of Ceylon People's Bank
By Aruna Feb 08, 2024 12:53 AM GMT
Aruna

Aruna

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කර තිබෙන TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් ජනතාව රවටා පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකරුන් කල්ලියක් ක්‍රියාත්මකව සිටින බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අවධාරණය කර සිටිනවා.

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන්නේ, මේවනවිට එම වංචනික කල්ලියට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් අය පිළිබඳ තොරතුරු ලැබී තිබෙන බවයි.

රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා ටින් අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස්‍ය අංකය (OTP) ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.

තමන් හසුවී සිටින්නේ වංචනිකයකුට බව වටහා නොගන්නා පිරිස් මෙම රහස්‍ය අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබා දීමට කටයුතු කරයි.

එම රහස්‍ය අංකය ලබා ගන්නා වංචනික කල්ලිය තමන් සමග සම්බන්ධවූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළුවී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා සඳහන් කර සිටියා.

රාජ්‍ය බැංකුවක අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, මේ ආකාරයට තම ගනුදෙනුකරුවන් රවටා මෙම වංචනික කල්ලිය මේවනවිට කුරුණෑගල නගරයේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක සේවය කරන හිමිනමකගේ ගිණුමකින් ඊයේ (7) දිනයේ රුපියල් දෙලක්ෂ හැට දහසක මුදලක්ද , පසුගිය සතියේ තවත් අයකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ දහයක මුදලක්ද වංචනිකව ලබාගෙන ඇති බවයි.

මෙවැනි ආකාරයට දුරකථන මගින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි ප්‍රකාශ කළේ.

ReeCha