නොරොච්චෝලේ බලාගාරය දින කිහිපයකට පද්ධතියෙන් ඉවතට - විදුලි බිඳවැටීම ගැන අභ්යන්තර විමර්ශනයක්
හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අක්රීය කෙරුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඉදිරි දින කිහිපය යන තෙක් ජාතික විදුලිබල පද්ධතියට නැවත සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි.
සාමාන්ය ආරක්ෂක ක්රමවේද අනුගමනය කිරීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය අක්රීය කිරීමෙන් පද්ධතියට මෙගාවොට් 810ක ධාරිතාවක් අහිමි වේ.
කෙසේ වෙතත්, පවතින වර්ෂාපතනය නිසා ජල විදුලි ජනනය උපරිම මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම සහ විදුලි ඉල්ලුම සාපේක්ෂව අඩුවීම හේතුවෙන්, පාරිභෝගිකයන්ට අවම බලපෑමක් වන පරිදි විදුලි සැපයුම පාලනය කිරීමට පියවර ගෙන ඇති බව එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඊයේ (17) පෙරවරු 11.43ට ජනන යන්ත්රයක් විසන්ධි වීමෙන් හටගත් අසමතුලිතතාවය මත තත්පර 30ක් ඇතුළත සමස්ත පද්ධතියම බිඳවැටුණු අතර, පස්වරු 3.00 වන විට අත්යවශ්ය සේවාවන්ටත්, පස්වරු 5.00 වන විට බහුතරයකටත් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැනුණි.
හදිසියේ ජනන යන්ත්රයක් විසන්ධි වීම සාමාන්ය තත්ත්වයක් වුවද මුළු පද්ධතියම බිඳවැටීම සාමාන්ය නොවන බැවින්, ඊට මුලපූ නිශ්චිත හේතු සෙවීමට අභ්යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.