මෙරටින් ඖෂධ පිටරටට යවන්නත් සැලසුම් - මෙරට පළමු ඉන්සියුලින් කර්මාන්තශාලාව නිරීක්ෂණයට ඇමති නලින්ද යයි
ශ්රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් කොග්ගල ආයෝජන කලාපයේ පිහිටි මෙරට පළමු ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස එක්ව තිබේ.
එහිදී මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ, රජයේ රෝහල් පද්ධතියට අවශ්ය ඖෂධ සැපයීම සහතික කිරීම මෙන්ම දේශීය ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීම ද රජයේ අරමුණක් බවයි.
දැනට රජයේ රෝහල් පද්ධතියට අවශ්ය ඖෂධවලින් සියයට 85ත් 90ත් අතර ප්රමාණයක් විදේශීය රටවලින් ආනයනය කරන බව පෙන්වා දුන් අමාත්යවරයා, රජයේ රෝහල් සඳහා අවශ්ය ඖෂධවලින් සියයට 96ක් පමණ සැපයීම සහතික කිරීමට මේ වන විට හැකි වී ඇති බව ප්රකාශ කළේය.
ඉදිරි දශකය තුළ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම අඩු කර ගැනීමටත්, අපනයන ආදායම ඉහළ නැංවීමටත් සම්ප්රදායික කර්මාන්තවලට අමතරව ඖෂධ නිෂ්පාදනය ප්රධාන අවස්ථාවක් වන බව ද ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකාව තුළ උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවත්, දේශීය නිෂ්පාදකයන් සතු එම හැකියාව උපයෝගී කර ගනිමින් ඉදිරි දශකය තුළ ඖෂධ නිෂ්පාදනය වේගවත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්යවරයා පැවසීය.
එමෙන්ම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්ය ආයතන හරහා දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට අවශ්ය සහාය සහ සහන ලබාදීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
දේශීය අවශ්යතා සපුරාලීමට අමතරව විදේශීය වෙළෙඳපොළ වෙත ශ්රී ලංකාවේ ඖෂධ අපනයනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති බව අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ශ්රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ මාලදිවයිනට අලෙවි කිරීමේ අවස්ථා සොයා බැලීම සඳහා එරට සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.
මීට අමතරව, අප්රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් ඇතුළු වෙනත් විදේශීය වෙළෙඳපොළ වෙත ද ශ්රී ලංකාවේ ඖෂධ අපනයනය කිරීමේ අවස්ථා හඳුනා ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්ය අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.