ඔස්ට්‍රේලියාව පරදා ඇෆ්ගනිස්ථානය ඉතිහාසය අලුතින් ලියයි - හොංකොං සීක්සස් කිරුළ මුල්වරට දිනාගනී [VIDEO]
2026 හොංකොං ජාත්‍යන්තර සීක්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්ව තිබේ.
ඒ, නොවැම්බර් 01 වැනිදා පැවති අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමිනි.
අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 115ක් රැස් කළේය.
එහිදී මැක්ස් බ්‍රයන්ට් පන්දු 14කින් වේගවත් ලකුණු 44ක් රැස් කළ අතර ඇලෙක්ස් රොස් පන්දු 10කින් නොදැවී ලකුණු 29ක් ලබාගත්තේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 119ක් ලබා ගනිමින් තරගයේ ජය හිමිකර ගත්තේය.
සයිෆර්ට්ගේ සහ ෆිලිප්ස්ගේ ප්‍රහාරයෙන් ඉන්දියාව පරදා නවසීලන්තයට සුපිරි ජයක් - තරගාවලිය 3-2ක් ලෙස නවසීලන්තය ජයගනී
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රධානතම පිතිකරු බවට පත්වූ ඉම්රාන් මීර් පන්දු 14කදී නොදැවී ලකුණු 53ක් රැස් කළේය.
ඊට හයේ පහර 7ක් ඇතුළත් විය. ෆර්මානුල්ලා සෆී ද පන්දු 7කදී නොදැවී ලකුණු 26ක් ලබාගනිමින් ඇෆ්ගනිස්ථාන ජයග්‍රහණය තහවුරු කිරීමට දායක විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ඇෆ්ගනිස්ථානය සිය ඉතිහාසයේ පළමු වරට හොංකොං සීක්සස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
එමෙන්ම මෙවර තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය එකදු පරාජයක් හෝ නොලබා ශූරතාව කරා පැමිණීම ද කැපී පෙනේ.
අවසන් පූර්ව තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම, අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් සිය ඓතිහාසික ජයග්‍රහණය සටහන් කළේය.
මෙවර තරගාවලිය ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් පැවැත්විණි.