"ලාල් විජේනායකයන්ගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක් '' - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් සංවේදී ශෝක පණිවුඩයක්
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ ජාතික විධායක සභාවේ සාමාජිකයෙකු වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය මෙරටට පිරිමැසිය නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සදහන් කර තිබේ .
වාමාංශික දේශපාලනඥයෙකු, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු මෙන්ම මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ විද්වතෙකු ලෙස ඔහු මෙරට සමාජ හා දේශපාලන ඉතිහාසයට එක් කළ දායකත්වය කිසිදා අමතක කළ නොහැකි බව ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත.
වසර 85ක ජීවිත කාලය තුළ තමන් විශ්වාස කළ ප්‍රතිපත්ති වෙනුවෙන් නොසැලී පෙනී සිටි ලාල් විජේනායක මහතා, බලය හෝ තනතුරු හමුවේ තම මතවාද වෙනස් නොකර අවංකව කටයුතු කළ පුද්ගලයෙකු බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබේ
2016 වසරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් පත් කළ මහජන අදහස් විමසීමේ කමිටුව හරහා තමන් පළමුවරට ලාල් විජේනායක මහතා හඳුනාගත් බව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරිය, එතැන් සිට පොදු දේශපාලන මතවාදයක් වෙනුවෙන් ඔහු සමඟ එක්ව කටයුතු කළ බව සඳහන් කර තිබේ.
දේශපාලනය යනු බලය හෝ තනතුරු ලබාගැනීමේ ක්‍රියාවලියක් නොව, ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරගලයක් බව ලාල් විජේනායක මහතා සිය ජීවිතයෙන්ම පෙන්වා දුන් බව ද ඇය ප්‍රකාශ කර ඇත.
ඔහු සතු අත්දැකීම්, දැනුම සහ දේශපාලන පරිණතභාවය අනාගත පරම්පරාවට ද වැදගත් ආදර්ශයක් වන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය, ඔහුගේ මානවවාදී දේශපාලන දැක්ම සහ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වූ කැපවීම ඉදිරියට ගෙන යාම ඔහුට දැක්විය හැකි සැබෑ උපහාරය බව අවධාරණය කර ඇත.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දේශපාලන මතවාද සම්බන්ධයෙන් එකඟ වූ සහ එකඟ නොවූ අවස්ථා පැවතිය ද, එම වෙනස්කම් කිසිවිටෙකත් ලාල් විජේනායක මහතා සමඟ පැවති මිත්‍රත්වයට, සහෝදරත්වයට සහ අන්‍යෝන්‍ය ගෞරවයට බාධාවක් නොවූ බවයි .