සිසුවෙක් ගල් වළකට රැගෙන ගොස් මත්පැන් පොවා සිහිනැති වන තෙක් අපයෝජනය කළ සංවේදී සිදුවීම..
බාලවයස්කාර පාසල් සිසුවකු රවටාගෙන පදවිය වැව අසල ගල් වළකට රැගෙන ගොස් බලහත්කාරයෙන් මත්පැන් පොවා, සිහිසුන් වන තුරු වරින් වර බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පදවිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා ඊයේ (6දා) දිනයේ නියෝග කළා.
මහෙස්ත්‍රාත්වරයා පදවිය පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබුවේ, සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුවා සම්බන්ධයෙන් වන අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, අනුරාධපුර මාතලේ හංදියේ අයෙක් සහ පදවිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පැවසෙන්නේ.
පළමු සැකකාර රවීන්ද්‍ර නමැත්තාට එල්ල වී ඇති චෝදනාව වන්නේ, 15 හැවිරිදි පාසල් සිසුවකුට මත්පැන් පොවා සිහිසුන් වනතුරු අපයෝජනය කිරීම සහ දෙවැනි සැකකාර රසික බණ්ඩාර යන අය මෙම අපරාධය සඳහා ආධාර අනුබල ලබාදීම නිසා අත්අඩංගුවට ගෙන තිබුණා.
අතවරයට පත් දරුවාගේ මව පදවිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.
සවස් කාලයේ නිවසෙන් පිටව ගිය තම දරුවා පසුදා පහන්වන තුරු නිවසට නොපැමිණීම නිසා තමන් ඒ ගැන පවුලේ උදවිය සමග සොයා බැලීමේදී දරුවා සිහිසුන්ව ගල් වළක සිටින බවට තමන්ට තොරතුරක් ලැබුණු පසු පොලිසිය දැනුවත් කළ බවයි මව සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.