අඹන්පොළ කැළඹූ ග්‍රාම නිලධාරිවරයාගේ ඝාතනය ගැන වෙනස්ම විදිහේ කතාවක් එළියට එයි - පාපොච්චාරණය මෙන්න

gramaniladhari Hikkaduwa Abanpola railway master Saman Perera
By Sewvandhi Oct 06, 2021 06:16 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අඹන්පොළ ග්‍රාම නිලධාරිවරයා ඝාතනය කිරීම සඳහා හික්කඩුව ප්‍රදේශයේ පාතාල සාමාජිකයන් පිරිසකට රුපියල් හැත්තෑදහසක් ලබාදුන් බව කියන ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයා ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහව මහෙස්ත්‍රාත්වරයා ඊයේ (5) නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ ගල්ගමුව දුම්රිය ස්ථානාධිපති චානක තිලාන් නමැති 27 හැවිරිදි විවාහකයෙකි. ඉඩමක් සම්බන්ධයෙන් පැවැති ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බව අඹන්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් පෙරේරා මහතා කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. අඹන්පොල ග්‍රාම නිලධාරි ඝාතනයට පාතාලයට මුදල් දීලා....

ගල්ගමුවේ දුම්රිය ස්ථානාධිපති රිමාන්ඩ් මියගිය ග්‍රාම නිලධාරියා මෙම ඝාතනය සිදුකළ බව කියන හික්කඩුව ප්‍රදේශයේ පාතාල කල්ලියකට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අඹන්පොළ පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි. සන්නද්ධ කණ්ඩායක් විසින් අඹන්පොළ ග්‍රාම නිලධාරි කේ. ඞී. සපුකුමාර මහතා කපා කොටා ඝාතනය කර ඇත්තේ පෙරේදා (4) උදෑසනය.

ඒ මහතා රාජකාරියට වාර්තා කිරීම සඳහා යතුරුපැදියෙන් යමින් සිටියදී මග රැක සිටි සන්නද්ධ පිරිස තියුණු ආයුධවලින් පහරදී කපා කොටා තුවාල කර පළාගොස් තිබිණි. ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම නිලධාරිවරයා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත. මෙම ඝාතන සිද්ධිය සඳහා කොන්ත්‍රාත්තුව ලබාදුන් බව කියන දුම්රිය ස්ථානාධිපතිවරයාට අඹන්පොළ ප්‍රදේශයේ ඉඩමක් ඇති අතර යාබද ඉඩමේ හිමිකරුවන් සමග එහි මායිම් සම්බන්ධයෙන් ආරවුලක් පැවතිණි.

මෙම මායිම් සම්බන්ධයෙන් පවතින ආරවුල පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරයා ඝාතනයට ලක්වූ ග්‍රාම නිලධාරිවරයාට අවස්ථා කීපයකදීම පැමිණිලි කර තිබිණි. ග්‍රාම නිලධාරිවරයා දුම්රිය ස්ථානාධිපතිවරයාගේ ඉඩමට යාබද ඉඩමේ අයිතිකරුවන් සමග සමීප සබඳතාවක් පවත්වන අතර මෙම පැමිණිල්ල වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කර නොමැති බව පැවසේ.

මේ හේතුව නිසා දුම්රිය ස්ථානාධිපතිවරයා සහ ග්‍රාම නිලධාරිවරයා අතර ද ආරවුලක් පැවැති අතර මෙම ඝාතනයට හේතුවී ඇත්තේ එම ආරවුල බව පොලිසිය පවසයි. ග්‍රාම නිලධාරිවරයා ඝාතනය වෙනුවෙන් පාතාල කල්ලියට රුපියල් හැත්තෑදහසක් මුලින් ලබාදී ඇති අතර තවත් මුදල් පසුව ලබාදීමට දුම්රිය ස්ථානාධිපතිවරයා පොරොන්දුවී සිට ඇත.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත, නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ, සහකාර පොලිස් අධිකාරි නලින් ද සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත අඹන්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් පෙරේරා, පොලිස් පරීක්‍ෂක ජයරත්න ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු - උපුටා ගැනීම "දිවයින" පුවත්පතෙන්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now