මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් [VIDEO]
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම පීලි මත එකම දිශාවට ධාවනය වූ සිදුවීමක් අද (05) වාර්තා විය.
අද පෙරවරු 9.45ට පමණ පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 328 මන්දගාමී දුම්රියට, පානදුර සහ මොරටුව අතරදී ඉදිරියට ධාවනයට කොළ සංඥාව ලැබී තිබියදී, තවත් දුම්රියක් එම දිශාවටම ධාවනය වී තිබේ.
මේ පිළිබඳ විමසීමේදී, ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් නිසා මෙම තත්ත්වය ඇති වූ බවයි.
ඒ අනුව, අදාළ සංඥා දෝෂය වහා නිවැරදි කිරීමට පියවර ගත යුතු බව එම සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇත.
මෙම ගැටලුවට ඉක්මනින් විසඳුම් නොලැබුණහොත්, මගීන්ගේ ආරක්ෂාව සලකා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවද එම සංගමය අවධාරණය කළේය.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, පානදුර සහ මොරටුව අතර සංඥා දෝෂයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත්, එය විමර්ශනය කර දෝෂය නිවැරදි කිරීමට උපදෙස් දුන් බවත්ය.
