ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා සඳහා නව මාවතක්
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා සඳහා නව මාවතක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය ඊයේ (16) මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන කැපී පෙනෙන සිදුවීමක් වූයේ දෙරටේ අදාළ අමාත්‍යාංශ අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ ඔවුන්ගේ සහයෝගීතාවය විධිමත් කරමින් සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සහ හුවමාරු කර ගැනීමයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම් දර්ශන එම්. පෙරේරා මහතා විසින් ගිවිසුමට අත්සන් කරන ලදී. ජපාන රජය වෙනුවෙන්, ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය මැට්සුඕ ටකේහිකෝ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරෝතානි මසකට්සු මහතා විසින් ගිවිසුමට අත්සන් කරන ලදී.
ප්‍රතිපත්ති සංවාදය අතරතුර, දෙරට අතර ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා මාර්ග සිතියමක් පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පවතින අවස්ථා පිළිබඳව ද ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. කාර්මික ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම සඳහා මාර්ග සිතියමක් හඳුන්වාදීම සහ ශ්‍රී ලංකාවේ අපනයන ධාරිතාව පිළිබඳ සමාලෝචන වාර්තාවක් ද ඉදිරිපත් කරන ලදී.
ජපාන විදේශ වෙළඳ සංවිධානය ශ්‍රී ලංකාවේ ජපන් සමාගම් සඳහා පවතින ව්‍යාපාරික පරිසරය පිළිබඳ වාර්තාවක් සපයන ලද අතර, ඉටෝචු සහ මිට්සුයි වැනි ප්‍රමුඛ ජපන් සමාගම් රට තුළ ඔවුන්ගේ ව්‍යාපාරික අත්දැකීම් බෙදා ගත්හ.
මෙම සහයෝගිතා ගිවිසුම සහ ප්‍රතිපත්ති සංවාදය ශ්‍රී ලංකා-ජපාන ආර්ථික සහයෝගීතාවය සහ ඔවුන්ගේ දිගුකාලීන මිත්‍රත්වය නව යුගයකට ගෙන යනු ඇතැයි දෙරටේ නියෝජිතයෝ විශ්වාසය පළ කළහ.
කාර්මික ආර්ථික කොරිඩෝ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිනි ඉසොමාටා අකියෝ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගිතා කමිටුවේ සභාපති ෆුමිහිකෝ කොබයාෂි සහ අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහභාගී වූහ.