උසස්පෙළ සිසුන්ට ජනපතිගෙන් සුබ ආරංචියක්. - ලබන වසරේ විදේශ අධ්‍යාපනයට රජයෙන් වරම්.
ලබන වසරේදී උසස් පෙළ සමත්වන සිසුන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශ අධ්‍යාපනය ලබා දීමට රජයේ ශිෂ්‍යත්ව ලබා දීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පප්‍රකාශ කළා.
ඒ, නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) පැවති දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමින්.
රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළ බවත් රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ මෙම සේවය වසර 200ක් පමණ පැරැණි බවත්, අපේ රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
නමුත් අවසාන අරමුණ හා ඉලක්කය පිළිබඳ වත්මන් තත්ත්වය සෑහීමකට පත් විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනයකින් සාධාරණ සේවයක් ලබා ගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු විශ්වාසය නොමැති බවත් රාජ්‍යක් ලෙස මුළු පද්ධතියම බිඳ වැටී ඇති බවත් පවසා තිබෙනවා.
එලෙස බිඳ වැටී ඇති පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සූදානම්ද නැද්ද යන්න අප විසින් අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනවරමේ අපේක්ෂාවන්ට දේශපාලන අධිකාරිය පමණක් නොව රාජ්‍ය සේවයද වගවිය යුතු මෙන්ම වගකිව යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දෙනවා.
එමෙන්ම තමන්ට ඇත්තේ රාජ්‍ය සේවයේ තිබෙන පුටු පිළිබඳ ප්‍රශ්නය නොවන බවත් පුටුවක අසුන් ගන්වන්න ඉන්නේ කවුද යන්න පමණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
මේ අතර ලෝකයේ සිදු වන වෙනස්කම් උකහා ගනිමින් ඒවා ගලපා ගනිමින්, තම ක්ෂේත්‍රයට නායකත්වය දෙමින් ජයග්‍රහණය සඳහා මෙහෙය වීමට සමත් වන පුටුවල හිස්කමක් ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ නිසා නිලධාරීන් 1500ක් පමණ ඉන්දියාවේදී පුහුණුව ලබා දීමට පසුගිය ඉන්දීය සංචාරයේදී එකඟ වූ බවද පවසා සිටි බව සඳහන්.
සමහර ආයතන මෙන්ම තනතුරු පවා ගොඩනැඟුණේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක් බවත්, අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව පැවසූ ජනාධිපතිවරයා, මේ සඳහා නව ව්‍යුහයක් අවශ්‍ය වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
You May Like This Video