අදින් ඇරඹෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් සියලුම සිසුන්ට දැනුවත් කිරීමක්
මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී අද (10) දින ආරම්භ වේ. ඒ අනුව මෙම විභාගය ලබන දෙසැම්බර් මස 05 දක්වා පැවැත් වීමට නියමිතයි.
කෙසේ වෙතත් උසස් පෙළ විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් තුන්ලක්ෂ හතළිස්දහස් පන්සිය විසිපස් දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ හතළිස් හයදහස් පන්සිය විසිඑක් දෙනෙක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් අනූහතර දහස් හතර දෙනෙක් සිටින බවයි.
මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ විභාගයට අදාළව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් පිහිටුවා ඇති බවත්, සියලු මධ්‍යස්ථානවලට අවශ්‍ය පොලිස් ආරක්ෂාව සැපයීමට සියලු කටයුතු යොදා ඇති බවත්ය.
තවද රට පුරා උසස් පෙළ විභාගයට අදාළ රහස්‍ය ලේඛන ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ගැනීමට බලාපොරොත්තු වන බවත්, යම් හෙයකින් මුහුදේ කාලගුණික තත්ත්වය අයහපත් වුවහොත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඇය කියා සිටියා.
එසේම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා නිසා ඇතිවිය හැකි බාධා තත්ත්වයන් වළක්වා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව මෙම කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් නිසා විභාගයට පැමිණීමට බලපෑමක් ඇති වුවහොත් 117 දුරකථන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකියි.
මේ පිළිබඳව ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව වැනි ආයතන ද දැනුම්වත් කර තිබෙනවා. එසේම විභාගයට පෙනී සිටින සියලු සිසුන් තම විභාග ප්‍රවේශ පත්‍රයේ නම, විෂය සහ විභාගයට පෙනී සිටින මාධ්‍ය නිවැරදි දැයි පරීක්ෂා කර බලන මෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
සෑම දිනකම උදෑසන විභාගය පැවැත්වෙන දිනවලදී උදේ 8.30ටත්, සවස විභාගය පැවැත්වෙන දිනවලදී සවස 1.00ටත් පැවැත්වෙන අතර සිකුරාදා දිනවලදී පමණක් සවස විභාගය පස්වරු 2.00ටත් ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළා.
එනිසා සියලුම සිසුන් සෑම දිනයකදීම තමන්ගේ විභාගය ආරම්භ වීමට පැයකට කලින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බවද දැනුම් දී තිබෙනවා.