ආසාදිතයින් වෙනුවෙන් කැපවූ වෛද්‍යවරයාගේ මව සහ පියා ව කොවිඩ් මාරයා බිලිගනී

By Sithumi Oct 07, 2021 12:08 PM GMT
Sithumi

Sithumi

Report

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට මූලිකත්වය ගත් වෛද්‍යවරයාගේ දෙමව්පියන් කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෛද්‍ය චින්තක රත්නසූරිය මහතා එම මධ්‍යස්ථානයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරීයා ලෙසද කටයුතු කරයි. ඔහුගේ මව සහ පියා කොවිඩ් ආසාදිතව එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව අප වාර්තාකරු පැවසීය.

66 හැවිරිදි මව පෙරේදා (05) දිනයේ මියගොස් තිබූ අතර ඔහුගේ 76 හැවිරිදි පියා අද (07) උදෑසන මියගොස් තිබුණි.

මේ අතර ,‍ කොවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදය යටතේ තවදුරටත් සක්‍රිය තත්ත්වයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 5,628 දෙනෙකු දක්වා අඩුවී තිබේ.

පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවේ පසුගිය සති කිහිපය සමග සැසදීමේදී එය විශාල අඩුවීමක් බවය. නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදය යටතේ ඊයේ (06) දිනය වනවිට කොවිඩ් රෝගීන් 91,745 දෙනෙකු ලියාපදිංචි වී සිට ඇති අතර ඉන් 84,344 දෙනෙකු සුවය ලබා ඇත.

එම ප්‍රතිකාර ක්‍රමවේදයට යොමු කළ කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් වෙත යොමු කර ඇත්තේ 1%ක ප්‍රතිශතයකි. එනම් රෝගීන් 1,330 දෙනෙකු පමණක් බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසීය.

මේ අතර ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 776කි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 522,778 ක් දක්වා ඉහළගොස් ඇති අතර 478,326 දෙනෙකු ප්‍රතිකාර කාලසීමාව අවසන් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ සඳහන්ය.

තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 31,267කි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,185ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now