ලෝකයම මවිත කරමින් ඩයිනසෝරයෙක් ප්‍රථම වරට ජගත් සමුළුව අමතයි. [VIDEO]

Covid America China Dinosaur Unhrc council
By Aruna Nov 02, 2021 04:29 AM GMT
Aruna

Aruna

Report

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතරතුරේ, ලෝක නායකයන් පුදුමයටත් භීතියටත් පත් කරමින්, විශේෂ අමුත්තකු සභාශාලාවට ඇතුළු වෙයි.

මේ අමුත්තා ඩයිනසෝරයෙකි. මේ ඩයිනසෝරයා ‘ජුරාසික් පාර්ක්’ ‘ජුරාසික් වර්ල්ඩ්’ ආදී චිත්‍රපට හරහා දකින්න ලැබෙන ‘රැප්ටර්’ ඩයිනසෝරයෙකි.

ඩයිනසෝරයන් අතරින් වඩාත් බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ ද රැප්ටරයන්ය.

මේ ඩයිනසෝරයා, රැස්ව සිටින සියලු දෙනාත් ලොව පුරා සියලු දෙනාත් අමතමින් කතා කරයි.

ඒ, මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සම්බන්ධයෙනි.

මනුෂ්‍ය වර්ගයා වඳ වීමට ලක් නොවිය යුතු බව ඩයිනසෝරයා පෙන්වා දෙයි. ‘මිනිසුනේ මේ අහන්න.

වඳ වී යෑම කියන්නේ මොකක්දැයි මං හොඳින් දන්නවා. මං ඒ ගැන ඔයාලට කියන්නම්.

වඳවී යනවා කියන්නේ සෙල්ලමක් නොවෙයි. වඳ වී යනවා කියන්නේ නරක දෙයක්. විහින්ම, වඳවී යනවා නම්ට ඒක සමාව දෙන්න බැරි වරදක්. වස ලැජ්ජාවක්.

මට අහන්න ලැබුණු විකාර දේ එයයි. අපි (ඩයිනසෝරයන්) වඳ වුණේ ග්‍රහකයක් හින්දා. ඔයාලට නිදහසට කාරණාවක් ඇත්තේ නැහැ.

ඔයාලා පාරිසරික ව්‍යසනයකට මුහුණ දෙමින් ඉන්නේ. විහින් වඳ වෙන්න හදනවා.

සෑම වසරකම රජයයන් බිලියන ගණනින් මහජන මුදල් යොදවනවා පොසිල ඉන්ධන සමාගම් නඩත්තු කරන්න.

ඒක හරියට අපි ඩොලර් බිලියන ගණනක් වැය කරමින් ග්‍රහක නඩත්තු කරනවා කළා වගේ.

ඒ, මුදලින් කොතරම් දේවල් කරන්න පුළුවන්ද? ටිකක් කල්පනා කරලා බලන්න. ලෝකයේ කී දෙනෙක් දුප්පත්කමින් පෙළෙනවා ද බලන්න ?

ඒ අසරණයන්ට පිහිටවීම වඩා හොඳයි නේද, තම වර්ගයාගේ වළ කපා ගන්නවාට වඩා. මං කියන දේ තේරුම් ගන්න. දැන් ඔයාලට හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා.

ක්‍රියාත්මක වෙන්න. ආර්ථිකය යළි ගොඩ නගා ගනිමින්, මේ වසංගතයෙන් ගොඩයන්න. මේක තමා මනුෂ්‍ය වර්ගයාට ලැබුණු හොඳම අවස්ථාව. මං කියන්නම්හ කදිම අදහසක්.

වඳ වී යෑම තෝරා ගන්න එපා. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම දිගටම පවත්වාගෙන යන්න බලන්න. තවත් ප්‍රමාද වෙන්න එපා.

තව දුරටත් වැරදි වහගන්න හේතු කියන්න එපා. ඉක්මනින් හරි තීන්දු තීරණ ගන්න. ස්තුතියි’

ෆ්රැන්කි නමැති මෙම ඩයිනසෝරයා සිය කතාව අවසන් කරයි.

බොහෝ දෙනා එය අගය කරමින් අත්පොළසන් දෙන්නේ අසුන්වලින් නැගී සිටිමිනි.

ෆ්රැන්කිගේ මෙම කෙටි වීඩියෝව නිර්මාණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.

ඩයිනසෝරයා CGI පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි.

මේ වනවිට මෙම වීඩියෝව, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන අවසන්ය.

රට රටවල ප්‍රකට නළු නිළියන් ඩයිනසෝරයාට විවිධ භාෂාවලින් හඩ ලබා දී ඇත.

ඒ, ඩයිනසෝරයා හරහා සමාජගතවන පණිවුඩයේ ඇති වැදගත්කම නිසාය.

ඉංග්‍රීසි බසින් ෆ්රැන්කි ට හඬ දෙන්නේ හොලිවුඩ් ප්‍රහසන නළු ජැක් බ්ලැක්ය.

මිහිකත උණුසුම් වීම සහ කාලගුණ විපර්යාස පිටුදැකීම වෙනුවෙන්, මුළු ලොවම එකමුතු වී තීන්දු තීරණ ගන්නා එක්සත් ජාතීන්ගේ cop26 සමුළුව ලබන 31 වැනිදා බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගොව් නුවරදී පැවැත්වීමට නියමිතය.

ප්‍රබල සහ ධනවත් රටවල ලෝක නායකයෝ ඊට සහභාගී වෙති.

එහිදී ගන්නා නිවැරදි තීන්දු තීරණ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය තීරණය කරනු ඇතැයි පරිසර විද්‍යාඥයන්ගේ අදහසය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෆ්රැන්කීගේ වීඩියෝව ප්‍රසිද්ධියට පත් කළේ මෙම සමුළුව නිමිත්තෙනි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගිය 26 වැනිදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව, පොසිල ඉන්ධන සමාගම් පවත්වාගෙන යෑමට ලොව ධනවත් සහ බලවත් රටවල් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 423 ක මුදලක් ලබා දෙයි.

මේ මුදල ‘කොවිඩ් 19’ එන්නත්කරණ කටයුතු සඳහා යොදවන්නේ නම්, බොහොම පහසුවෙන්, ලොව සෑම කෙනකුටම නියමිත එන්නත් මාත්‍රා ලබා දීමට හැකියාව ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී ඇත.

ඩයිනසෝරයාගේ වීඩියෝව, විනෝදය උදෙසා නිර්මාණය කරන ලද්දක් නොවන බව සිහියට ගත යුතුය.

මෙම වීඩියෝව හරහා කරන අනතුරු ඇඟවීම සහ පණිවුඩය ලොව සෑම කෙනකුම හොඳින් වටහා ගත යුතුය.

අප ජීවත්වන ලෝකය, අපේ පෘථිවිය දිනෙන් දින උණුසුම් වෙමින් පවතින්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය.

පොසිල ඉන්ධන දහනය, මිහිකත උණුසුම් කරයි.

පොසිල ඉන්ධන දහනය අවම කරමින්, හරිතාගාර විමෝචනය අඩු කරමින් මිහිකත බේරා ගැනීම සහ අපේ පණ බේරා ගැනීම අප කළ යුතුය.

මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්ම තීරණය කරනු ඇත්තේ අද අප ගන්නා තීරණ අනුවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now