9 හැවිරිදි දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයයි
මැදිරිගිය, දිවුලන්කඩවල කුසුම් පොකුණ ප්‍රදේශයෙන් හදවත කම්පා කරවන ඛේදනීය පුවතක් අපට වාර්තා වුණි. ඒ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 9ක දරුවෙකු මියයෑමේ සිද්ධියකි.
මීට දින දෙකකට පෙර මියගිය දරුවා සෙල්ලම් කරමින් සිටිය දී පන්දුව ළිඳට වැටී ඇති අතර, තාත්තාට එය රැගෙන දෙන ලෙස දරුවා අවස්ථා කිහිපයක දී ඇවටිලි කර ඇත.
කෙසේ නමුත් තාත්තා ට පන්දුව ගොඩ ට ගෙන දීමට නොහැකි වී තිබේ. ඊයේ (27) සවස 1ට පමණ මව හා බාල සහෝදරයා නිවසින් බැහැරව ගිය අවස්ථාවේ දී මියගිය දරුවා ළිඳට බැස පන්දුව රැගෙන ඇති අතර, එම අවස්ථාවේ දී ළිඳට වැටී දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ, කුසුම් පොකුණ ප්‍රාථමික පාසලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සමන්ත කවිඳු සඳරුවන් කුමාර නැමති දරුවෙකි.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වු කවිඳු නිවසේ නොසිටීම හේතුවෙන් මව්පියන් සෝදිසි කර ඇති වු සැකය මත ළිඳ ඉස ඇති අතර, එම අවස්ථාවේ දී සිරුර ළිඳේ තිබී සොයාගෙන තිබේ.
පුතාගේ මරණය පිළිබඳ අපට අදහස් දැක්වු කවිඳුගේ මව, "ගෙදර හිටියේ නෑ පොඩි බබා එක්ක උඩහට ගියා පොඩ්ඩක්. බබා ට මම කිව්වා නාලා කරලා ගෙදර ඉන්න කියලා. ඇවිල්ලා බලනකොට තමා බබා හිටියේ නෑ. මම හැමතැනම බැලුවා.
ළිඳ ළඟටත් ගිහින් බැලුවා. ඒත් හොයා ගන්න නැහැ. රෑ වෙලා බලද්දි ළිඳ ළඟ බෝලයක් තිබුණා. කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. ඒ කරලා ළිඳ ඉහලා බලද්දි තමා බබා ළිඳ ඇතුළේ හිටියේ. "