බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 66ක් කෝටි 15ක් පොලු තියලා
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 66 දෙනෙකු මගින් කෝටි 15කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
ඒ අතර, ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා එක්සත් රාජධානියට යාමට ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකයේ කථිකාචාර්යවරයකුට රුපියල් කෝටි 1.42කට වැඩි බැඳුම්කරයක් අත්සන් කර අධ්‍යයන නිවාඩු ලබා දී තිබුණත්, නිවාඩු ගණනය කිරීමේ දෝෂයක් හේතුවෙන් ඔහු මෙරටට නැවත කැඳවා තිබේ. මෙය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය රුපියල් ලක්ෂ 36කට වැඩි අමතර මුදලක් ගෙවා තිබුණද, වගකිව යුතු නිලධාරියාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොතිබීමත් වාර්තාවේ දැක්වේ.
එසේම, උද්භිද විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියකගේ වැටුපට රුපියල් ලක්ෂ 36කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇති බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. මෙම කථිකාචාර්යවරිය 2020 අගෝස්තු 29 වැනිදා ඉල්ලා අස්වූවත්, ඇය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ යොදවා ඇති බවත්, එසේ නැවත යෙදවීමේදී ආයතන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව වැටුප් පියවර 91,310ක මූලික වැටුප වෙනුවට රුපියල් 119,520ක වැටුප් තලයක තැබීමෙන් මෙම අක්‍රමිකතාව සිදුව ඇති බවත් වාර්තාවේ සඳහන්ය.
මේ අතර, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන, අධ්‍යයන සහායකාර්ය මණ්ඩල සහ පරිපාලන තනතුරුවල අනුමත සේවකයන් 136ක් පුරප්පාඩුව පැවති බවත්, මෙම තත්ත්වය සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි ලෙස බලපෑවද, විශ්වවිද්‍යාලය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබීමත් එහි හඳුන්වා දී ඇත.
මෙම ගැටලු සියල්ල 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් විගණන ලේඛනයේ සඳහන් වන අතර, ජාතික විගණන කාර්යාලය මගින් හඳුනාගත් මූල්‍ය හා පරිපාලන අක්‍රමිකතාවන්ට විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරයක් අපේක්ෂිත ය.