පාර්ලිමේන්තු කුස්සියේ මීයෝ, කැරපොත්තෝ පිරිලා.. කුස්සිය දැක්කම කන්න හිතන්නේ නැහැ..
ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් පොළොන්නරුව නගරයේ හා ඒ අවට ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කිරීමේ හා ඇගයීමේ උත්සවයක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම උත්සවයට එක්වෙමින් කථානායකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ වසර 40ක ඉතිහාසය තුළ එහි මුළුතැන්ගෙය කිසිදු අවස්ථාවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හෝ වෙනත් සෞඛ්‍ය නිලධාරීන්ගේ පරීක්ෂාවකට ලක්වී නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, පොළොන්නරුවේ ආහාර පරිහරණ ආයතනවල මුළුතැන්ගෙවල තත්ත්වය ගැන මෑතකදී තමන්ට අත්දැකීමක් ලැබුණු බවත්, එවැනිම තත්ත්වයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයේ ද දැකගත හැකි බවත්ය.
“පාර්ලිමේන්තුව ඉදිකර වසර 40ක් ගතවෙලා. ඒත් කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුට පාර්ලිමේන්තුව තුළට ඇවිත් ආහාර සකසන ස්ථාන පරීක්ෂා කිරීමට අවසර ලබාදීලා නැහැ. එය වෙනම රාජ්‍යයක් වගේ”
කථානායකවරයා සඳහන් කළේ, තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යවා බත්තරමුල්ලේ සෞඛ්‍ය නිලධාරීන්ට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේ මුළුතැන්ගෙය පරීක්ෂා කිරීමට ඉඩ ලබාදුන් බවයි. එම පරීක්ෂාවෙන් ලැබුණු වාර්තාව ගෘහ කාරක සභාවට ඉදිරිපත් කළ බවත්, එයින් පසු තමන් පාර්ලිමේන්තුවේ සලාද ආදිය භුක්ති විඳීමද නතර කළ බවත් ඔහු හෙළි කළේය.
“මීයන් ගිය පාරවල්, කැරපොත්තන් ගිය පාරවල්, බිම් කැඩිලා, පුස් හැදිලා, උයන භාජන ඇඹරිලා, නැමිලා, ඒවායේ දාරවල කළු පැල්ලම් තිබුණා. ඇත්තටම ඒවා දැක්කාම බඩ ගිනි යනවා. මේ තොරතුරු තවම මාධ්‍යවලට නිකුත් කරලා නැහැ. හෙට, අනිද්දා විතර ඒවත් එළියට එයි”
ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක් ලෙස සැලකුණත්, එහි ආහාර සකසන ස්ථානවල තත්ත්වය බරපතල ගැටලුවක් බවයි. “නීති සම්පාදනය කරන තැනක මෙවැනි තත්ත්වයක් තිබෙනවා නම්, විශේෂ පනතක් සම්මත කරන දවසක මන්ත්‍රීවරුන්ට ආහාර ගත් පසු රෝගී වුණොත් එය බරපතල ගැටලුවක්,” යැයි ඔහු අවධාරණය කළේය.
මේ හේතුවෙන් මෑතකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන්ට “එක එක කතන්දර” කියන බවත්, එම නිලධාරීන් තමන් සමඟ සතුටින් සිටින බවත් කථානායකවරයා විහිලුසහගතව සඳහන් කළේය.