අපි මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.. ළඟදි ගෙදරටම එනවා.. - රන්ජන් ජයලාල් ගෙන් තර්ජන [VIDEO]
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි විරෝධතා සම්බන්ධයෙන්, ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් සහ වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සහ තවමත් සේවයේ නියුතු වෘත්තීය සමිති නායකයෙකු අතර සිදුවූ උණුසුම් දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව වාර්තා වේ.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් මේ වන විට ඉවත්ව සිටින රන්ජන් ජයලාල් මහතා මෙම සංවාදයේදී ආවේගශීලී වෙමින් තර්ජනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකර ඇති බව හඬපටයෙන් හඳුනාගත හැකිය. “මැරෙන්න බයත් නෑ, මරන්න බයත් නෑ” යනුවෙන් කිහිප වරක්ම ඔහු අවධාරණය කළ අතර, “හමුදාව පොලිසිය අපේ අතේ. අපි ජීවිතේට ආණ්ඩුව දෙන්නේ නෑ. ගත්තෙ දෙන්න නෙමෙයි” යනුවෙන් ද ප්‍රකාශ කර ඇත.
තමා කිසිවක් පාවා නොදුන් බවත්, ලබාගත් බලය නැවත නොදෙන බවත් ඔහු සඳහන් කරමින්, “විදුලිබල මණ්ඩලය විකුණා ඇති” යන චෝදනාවට “කවුද කියන්නේ වික්කා කියලා?” යනුවෙන් ප්‍රතිචාර දැක්වූ රන්ජන් ජයලාල් මහතා, ඉදිරියේදී අදාළ වෘත්තීය සමිති නායකයාගේ නිවසට පැමිණිමට තර්ජනයක්ද කර ඇත.
මෙම සංවාදයේදී ඇමතුම ලබාදෙන වත්මන් වෘත්තීය සමිති නායකයා, රන්ජන් ජයලාල් මහතාට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක් එල්ල කර ඇත. “දරුවන්ට කන්න දීමට” මුදල් වෙනුවෙන් පාවාදීම් කළ බවත්, “සල්ලි වලට නැමුණු” බවත් ඔහු චෝදනා කරමින්, “රුපියල් පන්සියය බැගින්” එකතු කර දුන් මුදලින් ජයලාල් මහතා පළමුවෙන්ම වාහනයක් මිලදී ගත් බවද සිහිපත් කර ඇත.
“මුළු රටම ගත්තේ උඹලව පෙන්නලා.. හිතන්නවත් එපා ආයි මේක ගන්නනම්, අපි මැරෙන්න බයත් නෑ ..මරන්න බයත් නෑ..” යනුවෙන් ද රන්ජන් ජයලාල් මහතා තර්ජනය කර ඇත.
රන්ජන් ජයලාල් මහතාව “ද්‍රෝහියෙක්” ලෙස හැඳින්වූ මෙම තැනැත්තා, ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අභියෝග කර ඇත.