මාරක රිය අනතුරු - ජීවිත 4ක් බිලි ගනී

Ambalangoda accdent Kirulapana Alpitiya Thunmulla
By Sewvandhi Nov 02, 2021 03:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. බම්බලපිටිය පොලිස් වසමේ කිරුළපන - තුම්මුල්ල මාර්ගයේ දී තුම්මුල්ල දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබේ.

එහිදී විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටී තුවාල ලැබු යතුරුපැදිකරුවන් දෙදෙනා ම කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. බරපතළ තුවාල ලබා සිටි 46 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර, ඇල්පිටිය - අම්බලන්ගොඩ මාර්ගයේ දී වගාසිරි මාවත හංදිය අසල දී ලොරි රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරුව තවත් යතුරු පැදියක වැදී අනතුරට පත්ව තිබේ.

යතුරුපැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව 47 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි එක් අයෙක් මියගොස් ඇත. අනතුර සිදුකළ ලොරි රථය පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය. මේ අතර,කුරුණෑගල - මීගමුව මාර්ගයේ පිදුරුවැල්ල ප්‍රදේශයේ දී නාරම්මල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වු කාර් රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු මෝටර් රථයේ රියදුරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි වෑත්තෑව, දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ත්‍රිකුණාමලය දෙස සිට කන්තලේ දෙසට ධාවනය වු රථයක මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුකළ රථය පළාගොස් ඇති අතර, තුවාල ලැබු 22 හැවිරිදි පදිකයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා සෙබළෙක් බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now