ක්‍රීඩා ලෝකය උණුසුම් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ආරම්භය මෙන්න
23 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (Glasgow 2026 Commonwealth Games) ඊයේ (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී නිල වශයෙන් ආරම්භ විය.
දින 11ක් පුරා පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් සහ භූමි ප්‍රදේශ 74කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට අධික පිරිසක් සහභාගි වෙති.
තරග ක්‍රීඩා ඉසව් 10ක් සහ පැරා ක්‍රීඩා ඉසව් 6ක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සමාරම්භක උත්සවය ග්ලාස්ගෝහි The Hydro ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම සමාරම්භක උත්සවය නිල වශයෙන් විවෘත කරන ලද්දේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින විසිනි.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සීමිත වියදම් ආකෘතියක් යටතේ සංවිධානය කර ඇති අතර, 2022 බර්මින්හැම් ක්‍රීඩා උළෙලට සාපේක්ෂව ක්‍රීඩා ඉසව් සංඛ්‍යාව අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තරග ග්ලාස්ගෝ නගරය තුළ සැතපුම් 8ක පමණ සීමාවක පිහිටි ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ 4කදී පැවැත්වීමට නියමිතය. 2014 වසරෙන් පසු ස්කොට්ලන්තය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දරන දෙවැනි අවස්ථාව මෙය වේ.
මෙවර තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් ජූලි 27 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු එක්වෙති. ඔවුන් ක්‍රීඩා ඉසව් 7කදී තරග වැදීමට නියමිතය.