අවුරුදු සමයේ විශේෂ වැඩක් - රජයේ නිලධාරින් 2000ක් යොදවයි
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා උත්සව සමයේදී වියළි, නිමි සහ පිසූ ආහාර සපයන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය විමර්ශනය කිරීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසක් (2,000) යොදවා ඇති බව පවසයි.
ඒ අනුව ආහාර නිෂ්පාදන ආයතන, බෙදාහරින වාහන, වෙළෙඳසල්, ආපනශාලා, හෝටල්, ජංගම සහ ස්ථිර සතිපොළවල් මෙන්ම මගී ප්‍රවාහන බස් රථ ආහාර ලබාගැනීමට නවත්වන හෝටල් ඇතුළු සියලුම ස්ථාන දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
පාරිභෝගික ජනතාවට ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කරන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව මෙහිදී තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා අවධාරණය කළේය.
මීට අමතරව, සෞඛ්‍යාරක්ෂිතව අවුරුදු උත්සව සංවිධානය කරන ආකාරය පිළිබඳව සංවිධායකවරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.
රජය ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් අවදානම් සහගත ලෙස සංවිධානය කෙරෙන අවුරුදු උත්සව තහනම් කිරීමට පියවර ගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ආහාර ඉක්මනින් නරක් වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.