එකම බයිසිකලයකින් රටවල් 191ක් පුරා අපූරු ගමනක් - වසර 19ක් තිස්සේ ලෝකය වටා සංචාරයක
වසර 19කට ආසන්න කාලයක් බයිසිකලයකින් ලොව වටා සංචාරය කරමින් සුවිශේෂී මෙහෙවරක නිරත වන ඉන්දීය ජාතිකයෙකු පිළිබඳව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.
බටහිර බෙංගාලයේ දකුණු පැරාගනාස් ප්රදේශයේ පදිංචි සෝමන් ඩෙබ්නාත් (Somen Debnath) නම් මෙම පුද්ගලයා මේ වනවිට රටවල් 191ක් පුරා බයිසිකලයෙන් සංචාරය කර ඇති අතර, එම ගමනේදී කිලෝමීටර් 200,000කට වැඩි දුරක් ගමන් කර තිබීම විශේෂත්වයක්.
ඔහුගේ මෙම දීර්ඝ සංචාරයේ ප්රධාන අරමුණු දෙකක් තිබෙනවා. ඒ HIV/AIDS රෝගය පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීම සහ ඉන්දියානු සංස්කෘතිය ලෝකයට හඳුන්වා දීමයි.
විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සිය අසාමාන්ය සංචාරයේ අත්දැකීම්, මුහුණදුන් අභියෝග සහ මෙම ගමනට මඟ පෙන්වූ පුද්ගලයන් පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.
2004 මැයි 27 වැනිදා ඇරඹුණු ලෝක සංචාරය
සෝමන් ඩෙබ්නාත් පවසන්නේ සිය ජාත්යන්තර සංචාරය 2004 මැයි 27 වැනිදා ආරම්භ කළ බවයි. විදෙස් සංචාරයට පිවිසීමට පෙර ඔහු ඉන්දියාවේ ප්රාන්ත 28ක් සහ මධ්යම පාලන ප්රදේශ 5ක් පුරා සංචාරය කර තිබෙනවා.
අනතුරුව නවදිල්ලියට පැමිණි ඔහුට එවකට ඉන්දීය ජනාධිපතිවරයා වූ ඒ.පී.ජේ. අබ්දුල් කලාම් සහ එවකට අග්රාමාත්යවරයා වූ මන්මෝහන් සිං හමුවීමට අවස්ථාව ලැබී තිබෙනවා.
එවකට විදේශ කටයුතු අමාත්යවරයා වූ ප්රනාබ් මුකර්ජි සමඟ පැවති හමුව ඔහුගේ සංචාරයට විශේෂ පිටිවහලක් වූ බවද සඳහන්.
එම හමුවෙන් අනතුරුව රටවල් පහකට සංචාරය කිරීම සඳහා වීසා බලපත්ර, ඉන්දීය රුපියල් 50,000ක මුදලක් සහ හඳුන්වාදීමේ ලිපි පහක් ඔහුට ලැබී තිබෙනවා.
ආසියාවේ සිට යුරෝපය දක්වා
2004 සිට 2009 දක්වා කාලය තුළ ඔහු නේපාලය, ටිබෙට්, චීනය, භූතානය, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්රී ලංකාව ඇතුළු ආසියානු රටවල් රැසක සංචාරය කර තිබෙනවා.
ඊට අමතරව පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉරානය, තුර්කිය සහ තවත් රටවල් රැසක් හරහා ඔහු සිය ගමන ඉදිරියට ගෙන ගොස් තිබෙනවා.
2009 සිට 2012 දක්වා කාලය තුළ යුරෝපා රටවල් 48ක සංචාරය කර ඇති ඔහු, අප්රිකානු රටවල් 54ක් සහ මැදපෙරදිග රටවල් 10ක්ද ආවරණය කර තිබෙනවා.
2015 සිට 2017 දක්වා දකුණු ඇමෙරිකානු රටවල් 13ක සංචාරය කළ ඔහු 2018 වසරේදී කැරිබියන් දූපත් සහ මධ්යම ඇමෙරිකාවේ ප්රදේශ කිහිපයකටද ගොස් තිබෙනවා.
2019 සහ 2020 කාලය තුළ ඇමෙරිකාවේ ප්රාන්ත 48ක් හරහා බයිසිකලයෙන් ගමන් කළ ඔහු අනතුරුව කැනඩාවටද ගොස් තිබෙනවා.
රුසියාව සහ චීනය ඇතුළු රටවල්ද ඔහුගේ සංචාරයට ඇතුළත්.
කොවිඩ් සමයේ චීනයේ අතරමං වෙයි - බරපතළ රෝගී තත්ත්වයකටත් මුහුණ දෙයි
වසර ගණනාවක් පුරා සිදුකළ මෙම සංචාරය පහසු එකක් වී නැහැ. ඔහුගේ ගමනේ අසීරුම අවස්ථාවක් වී ඇත්තේ කොවිඩ් වසංගත සමයේ චීනයේ අතරමං වීමට සිදුවීමයි.
එහිදී ඔහුට කොවිඩ් ආසාදනය වී බරපතළ ලෙස රෝගාතුර වීමට සිදුව තිබෙනවා. රෝගීව සිටි කාලයේ උණු වතුර පානය කිරීමට උත්සාහ කිරීමේදී මුඛය පිළිස්සීමට ලක්වූ බවත්, දින හතක් හෝ අටක් පමණ කිසිදු ආහාරයක් ගැනීමට නොහැකි වූ බවත් ඔහු සිහිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුව සුවය ලැබූ ඔහු නැවතත් සිය සංචාරය ආරම්භ කර තිබෙනවා.
චීනයෙන් පසු දකුණු කොරියාවටත්, අනතුරුව නවසීලන්තයටත් ගිය ඔහු එහි වසරකට ආසන්න කාලයක් ගත කර තිබෙනවා.
පසුව ඕස්ට්රේලියාව සහ අග්නිදිග ආසියාව හරහා ඉන්දියාව බලා පැමිණීමට කටයුතු කර තිබෙනවා.
වයස අවුරුදු 14 සිටම HIV/AIDS ගැන දැනුවත් කිරීමේ මෙහෙවරක
HIV/AIDS පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඔහුට ඇතිවී තිබෙන්නේ ජාත්යන්තර සංචාරය ආරම්භ කිරීමටත් පෙරයි.
වයස අවුරුදු 14දී HIV සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් මෙම රෝගය පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමට පෙළඹුණු බව ඔහු පවසනවා. ඒ අනුව රෝගය පිළිබඳ තොරතුරු අධ්යයනය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යොමුවී තිබෙනවා.
වයස අවුරුදු 16ත් 20ත් අතර කාලයේදී බටහිර බෙංගාලයේ මෙම වැඩසටහන් ක්රියාත්මක කළ ඔහු පසුව ඉන්දියාවේ අනෙකුත් ප්රදේශවලටද එය ව්යාප්ත කර තිබෙනවා.
HIV/AIDS රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයක් තරුණ පරපුරට ලබාදීම සහ එම රෝගය සම්බන්ධයෙන් සමාජයේ පවතින අපකීර්තිය හා වැරදි ආකල්ප දුරු කිරීම ඔහුගේ ප්රධාන අරමුණක් වී තිබෙනවා.
ස්වාමි විවේකානන්ද සහ පොතක් ඔහුගේ ගමනට ආභාසය වෙයි
ලොව වටා බයිසිකලයෙන් සංචාරය කිරීමට සෝමන් ඩෙබ්නාත්ට ආභාසය ලබාදී ඇත්තේ ප්රධාන කරුණු දෙකක්. ඒ ස්වාමි විවේකානන්දගේ දර්ශනය සහ බිමල් මුකර්ජි නම් සංචාරකයා විසින් රචිත 'Do Chakka Duniya' නම් කෘතියයි.
ස්වාමි විවේකානන්දගේ අදහස් ලෝකය ගවේෂණය කිරීමටත්, ඉන්දියානු සංස්කෘතිය වෙනත් රටවල ජනතාව අතරට ගෙන යාමටත් තමන්ට ආභාසයක් වූ බව ඔහු පවසනවා.
එමෙන්ම 1926 සිට 1937 දක්වා කාලය තුළ ලොව වටා සංචාරය කළ බිමල් මුකර්ජිගේ අත්දැකීම් පිළිබඳව කියවීමද තමන්ගේ ගමනට විශාල බලපෑමක් කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.
දැන් ඔහුගේ අලුත්ම මෙහෙයුම 'Punar Milan Bharat
රටවල් 191ක් පුරා සංචාරය කිරීමෙන් අනතුරුව සෝමන් ඩෙබ්නාත් මේ වනවිට සිය අවධානය නැවතත් ඉන්දියාව වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව 'Punar Milan Bharat' හෙවත් ඉන්දියාව යළි එක්සත් කිරීමේ අරමුණින් රට පුරා බයිසිකල් සංචාරයක් ආරම්භ කර තිබෙනවා.
කාශ්මීරයේ සිට කන්යකුමාරි දක්වාත්, ද්වාර්කා සිට කාමාක්යා දක්වාත්, අරුණාචල් ප්රදේශ් සිට මිසෝරාම් දක්වාත් ගමන් කිරීම එම සංචාරයට ඇතුළත්.
ජාතික සමගිය ප්රවර්ධනය කිරීම, 'එක් ගසක් - එක් ජීවිතයක්' යන පණිවිඩය ඔස්සේ පරිසර සංරක්ෂණය දිරිමත් කිරීම සහ තරුණ පරපුර ක්රීඩාවට යොමු කිරීම මෙම වැඩසටහනේ අරමුණු අතර වනවා.
වසරක් ඇතුළත මෙම සංචාරය අවසන් කිරීම ඔහුගේ අපේක්ෂාවයි.
“ලෝකයක් බලා සිටින ඊශ්රායල මැතිවරණයේ නෙතන්යාහුටත් විපක්ෂයේ අයිසන්කොට්ටත් බහුතරය අහිමි වන ලකුණු'' - අරාබි පක්ෂ තීරණාත්මක වෙයි
දිනකට කිලෝමීටර් 70ත් 80ත් අතර දුරක් බයිසිකලයෙන්
දිනකට සාමාන්යයෙන් කිලෝමීටර් 70ත් 80ත් අතර දුරක් බයිසිකලයෙන් ගමන් කරන බව සෝමන් ඩෙබ්නාත් පවසනවා.
ඇතැම් දිනවල කිලෝමීටර් 150ක් පමණ ගමන් කරන අවස්ථාද තිබෙනවා. කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා බයිසිකල් පැදීම හේතුවෙන් පාදවල වේදනාවක් ඇතිවීමට පටන්ගෙන ඇති නිසා මේ වනවිට තරමක් සෙමින් ගමන් කිරීමට ඔහු උත්සාහ කරනවා.
ගමනේදී අවශ්ය සියලුම දේ රැගෙන යන්නේ තම බයිසිකලය සමඟයි. "මට අවශ්ය සියල්ල මා ළඟ තිබෙනවා. මගේ කුඩා ජංගම නිවස මමත් සමඟ රැගෙන යනවා.
ඒක තමයි මගේ නිවස" යනුවෙන් ඔහු සිය ජීවිතය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.
ඔහුට බයිසිකලය යනු හුදෙක් ගමනාගමන මාධ්යයක් පමණක් නොවෙයි. ලෝකයේ විවිධ රටවල ජනතාව හමුවීමටත්, අදහස් බෙදාගැනීමටත්, තමන් විශ්වාස කරන පණිවිඩය ලොව පුරා ගෙන යාමටත් එය ඔහුට ලැබුණු සුවිශේෂී මෙවලමක් වී තිබෙනවා.