කුරුණෑගල බිලිඳිය ඉල්ලා ඇමතුම් 1000ක්
කුරුණෑගල - මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ වෙල්යායක් අසළ කුඹුක් ගහක් යට අතහැර දමාගොස් තිබියදී සොයාගත් දින දෙකක් වයසැති බිළිඳිය දරුකමට හදා ගැනීමට ඉල්ලා දුරකතන ඇමතුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබුණු බව මාවතගම පොලිසිය ප්‍රකාශ කළා.
පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අමෙරිකාව සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක පදිංචියට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙලෙස මෙම දරුවා හදා වඩා ගැනීම සදහා ඉල්ලා දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවයි.
ඔහු කියා සිටියේ මෙම සිගිත්තිය දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරමින් දුරකතන ඇමතුම් දුන් සියලු දෙනාටම ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රමවේදයන් ගැන පැහැදිලි කර දුන් බවයි.
මෙතෙක් පෙරේදා උදෑසන කාලයේදී සොයාගත් මෙම බිළිඳාගේ මව කවුරුන්ද යන්න අනාවරණය වී නැහැ. පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා.
දමාගොස් තිබූ මෙම බිළිඳිය දෝතට ගන්නා ලෙස පොලිසිය ඉල්ලීම් කළත් අසල සිටි කාන්තාවන් ඊට මැළිකමක් දැක්වූ අතර කෙසේ වෙතත්, පිරිමි පුද්ගලයෙකු ඒ සඳහා ඉදිරිපත් වුණා.
එලෙස ඉදිරිපත් වුණේ රැකියාවෙන් රියදුරෙකු ලෙස සේවය කරන පී.ඒ. චන්දන කුමාර ජයවර්ධන නම් ඔහු ඕවත්තවෙල වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
