අකුරේගොඩ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10ක් යොදවයි
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා CID සහ STF නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් යොදවා තිබේ.
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබුණි.
පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවය. එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.
ඉන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි. එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳය.