"මම දැන් පත්තර බලන්නෙත් නෑ, ෆේස්බුක් යන්නෙත් නෑ" - මෛත්‍රීගෙන් දේශපාලනය ගැන අපූර්ව හෙළිදරව්වක්
මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කිරීමට උත්සාහ කිරීමකට වඩා බණ දහම් අසා පොතපත කියවමින් නිහතමානීව ජීවත්වීම වඩාත් සුදුසු බවයි.
ඔහු සඳහන් කළේ, වසර 4ක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිකරණ ක්‍රියාමාර්ගවලට ලක්ව තිබෙන අතර, එයට සම්බන්ධ කිසිදු පාර්ශවයකට තම සහාය ලබා නොදෙන බවයි.
මහනුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් (20) අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා, දේශපාලනය “වලාකුළක්” මෙන් නිතරම වෙනස් වන බවත්, එහි වෙනස්කම් පුරෝකථනය කළ නොහැකි බවත් පැහැදිලි කළේය.
තවද, සියලු ආණ්ඩු කාලවලම අක්‍රමිකතා චෝදනා මතු වූ බවත්, ඒවා සම්බන්ධයෙන් සත්‍යය හෙළි කර ගැනීමට නිසි පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඔහු කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා,
“දේශපාලනය කියන්නේ හරියට වලාකුළක් වගේ දෙයක්. උඩ බලාගෙන ඉන්නකොට වළාකුළු වෙනස් වෙනවා වගේ තමයි දේශපාලනය වෙනස් වෙන්නේ. කොයි වෙලාවේ වහිනවද කොයි වෙලාවේ පායනවාද කියලා කියන්න බැහැ වගේ තමයි දේශපාලනයේ සිදුවන වෙනස්කම්. කොයි මොහොතේ වෙයිද කියලා අපිට කියන්න බැහැ.
මම දන්න විදිහට හැම ආණ්ඩුවලම හොරකම් කරන අය හිටියා. මේ ආණ්ඩුවේ අයටත් චෝදනා එල්ල වෙනවා. ඒවායේ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. පරීක්ෂණ පවත්වලා තමයි හොයා ගන්න ඕන. ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා තනතුරින් ඉල්ලා අස්වුණා. පරීක්ෂණයට ඉඩදීලා ඉල්ලා අස්වුණා කියලා තමයි දැන ගන්න තියෙන්නේ. මගේ කාලයේ මහබැංකු වංචාව සිද්ධ වුණා. ඒක හොයන්න පරීක්ෂණ මණ්ඩලයක් නෙවෙයි ජනාධිපති කොමිෂන් සභාවක් මම පත් කළා. මගේ නිල කාලයේ දී ඒ පරීක්ෂණ හොඳට කෙරීගෙන ගියා.
මම ගියාට පස්සේ ඒකට වෙච්ච දෙයක් නැහැ. මට දැන් කිසිම තනතුරක් නැහැ. ඒ නිසා පසුවිපරම් කරන්න යන්නේ නැහැ. විපක්ෂයේ අය තමයි මේවා ගැන සොයා බලන්න ඕන. රටක විපක්ෂය සාධාරණ ලෙස ක්‍රියාශීලි විය යුතුයි. ප්රජාතන්ත්රවාදී රටක ඒක වගකීමක් හා යුතුකමක්. මම විද්‍යුත් මාධ්‍ය බලන්නේ නැහැ. පත්තර කියවන්නේ නැහැ. සමාජ මාධ්‍ය, වෙබ් අඩවි බලන්නෙත් නැහැ. පොතක් පතක් බලාගෙන උදේ හවස පන්සිල් අරගෙන ජීවත් වෙනවා.."