නානුඔය ඇළේ දිය නෑමට ගිය තරුණයින් ජීවිතක්ෂයට පත්වෙයි
නුවරඑළිය, නානුඔය රදැල්ල ග්ලාස්ගෝ වතුයාය අසලින් ගලාබසින නානුඔය ඇළේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේම පදිංචිව සිටි අවුරුදු 23 සහ 24 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වන අන්දමට, හපුතලේ ප්‍රදේශයේ සිට නානුඔය ඒඩම්බරෝ වත්තේ පිහිටි ඥාති නිවසකට පැමිණි තරුණයෙකු තම පවුලේ පිරිසක් සමඟ මෙලෙස දිය නෑමට ගොස් ඇත.
එහිදී එම තරුණයා දියේ ගිලෙමින් සිටියදී ඔහුව බේරාගැනීමට අනික් තරුණයා තැත් කිරීමත් සමඟ දෙදෙනාම දියේ ගිලී අතුරුදහන් වී තිබේ. පසුව ප්‍රදේශවාසීන් සහ නානුඔය පොලිස් නිලධාරීන් එක්ව සිදුකළ සෙවුම් මෙහෙයුමකදී, ඇළේ පිහිටි ගැඹුරු දිය වළක තිබී තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගැනීමට හැකිවී ඇත.
මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය ඉදිරි විමර්ශන මෙහෙයවයි.