බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය ඉතා දරුණු අතට - තත්ත්වය දරුණු වෙද්දී සියලු පලාත්වලට ආපදා කණ්ඩායම් පිටත් කරයි
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ආපදා සඳහා මුහුණදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
එහි අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, උතුර, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්යම පළාත් මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සහන කණ්ඩායම් සහ උපකරණ යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය අද (25) පෙරවරු 11:30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් තීව්ර වෙමින් හෙට (26) උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, 27 වනදා වන විට ප්රබල සුළි කුණාටුවක් බවටත් වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද, එමගින් ඇදී යන සුළං ප්රවාහ හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කෙරේ.
ඒ අනුව, දිවයිනේ ප්රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතී.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුර, උතුරු-මැද, වයඹ, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවල පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු සහ තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.