එළැඹෙන 27 වනදා උදෑසන වන විට ඉතා දරුණු තත්ත්වයක් - බෙංගාල බොක්කේ ප්රබල සුළි කුණාටු තත්ත්වයක්
බෙංගාල බොක්ක බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව එළැඹෙන 27 වනදා උදෑසන වන විට ප්රබල සුළි කුණාටු තත්ත්වයක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය අද (25) පූර්වාහ්න 8:30 වන විට උතුරු අක්ෂාංශ 15.3° සහ නැගෙනහිර දේශාංශ 91.2° ආසන්නයේ කේන්ද්රගතව පැවති බවයි.
මෙම පද්ධතිය අද දිනයේ බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්රදේශ හරහා ගමන් කරමින් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට නියමිතය.
අනතුරුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට (26) දින උදෑසන වන විට එය සුළි කුණාටුවක් බවටත්, එළැඹෙන 27 වනදා උදෑසන වන විට ප්රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමටත් වැඩි සම්භාවිතාවක් පවතී.
මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම ප්රදේශවල රැඳී සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන කරා යාත්රා කරන ලෙසත් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.