සේවකයන්ට වන්දි ගෙවන්න නැවතත් විදුලි බිල වැඩි කරයි?
2025 වර්ෂයේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට හයයි දශම අටකින් වැඩි කිරීමේ යෝජනාවක් පිළිබඳව මහජනතාවගේ අදහස් විමසීමට මහජන උපයෝගීතා කොමිසම සූදානම් වේ.
මෙයට සමගාමීව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම රටට පුරා ප්‍රධාන සැසි අටක් හරහා සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබේ.මහජනතාවගෙන් අදහස් විමසීමේ කාල සීමාව සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 8 වෙනිදා දක්වා ක්‍රියාත්මක වේ.
මෙම කටයුත්ත සිදුවන්නේ විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි. කෙසේ වෙතත් ඊයේ පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී විදුලි බිල වැඩි කිරීම සම්බන්ධ යෝජනාවක් පිළිබඳව තමන් දැනුවත් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියා
මෙවන් පසුබිමක විදුලි වෘත්තීය සමිති 25ක් ද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටිනවා. ඊට හේතු වී ඇත්තේ විදුලිබල මණ්ඩලය රාජ්‍ය සමාගම් හතරකට වෙන් කිරීමට ගත් තීරණයයි. මෙම තීරණය අනුව අදාළ නව සමාගම් වෙත එක්වීමට සේවකයන්ට නිදහස ලබා දී තිබෙන අතර, උපරිමය රුපියල් ලක්ෂ පනහක් දක්වා වන්දි ලබාගෙන ඉවත්වීමේ ක්‍රමවේදයක්ද ඉදිරිපත් කර තිබෙනවා.
විදුලි ඉංජිනේරු සහ අධිකාරීවරුන්ගේ සංගමය මේ පිළිබඳ කළ විමසීමකදී පවසා සිටියේ සිය ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් බරපතල විය හැකි බවයි.
ඒ අනුව ඉදිරි සතියේ සිට සවස පහෙන් පසු විදුලි බිඳවැටීම් සඳහා ප්‍රතිචාර දැක්වීම් අවම වනු ඇති බවත් ඔවුන් කියා සිටිනවා. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව චෝදනා කරන්නේ විදුලි ගාස්තු වැඩි කිරීමට සාධාරණ හේතුවක් විදුලිබල මණ්ඩලයට නොමැති බවයි.ඉකුත් කාර්තුවේ ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය මෙම ගාස්තු වැඩි කිරීම සිදු කරනු ලබන්නේ, සේවක වන්දි ගෙවීමටදැයි ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.