ප්‍රබල අමාත්‍යවරයෙකු සිය සමීප හිතවතෙකු බව කියන අත්අඩංගුවට ගත් වැලිකඩ OICගේ පැටිකිරිය එළියට
චීන ජාතිකයන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අද (27) දින පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ පිළිබඳ කරුණු රැසක් හෙළි කරගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.
ඒ අනුව රාජගිරිය ප්‍රදේශයේදී පසුගිය මැයි 2 වැනිදා චීන ජාතිකයන් පිරිසක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සයිබර් අපරාධ සිදුකිරීමේ චෝදනා යටතේයි.
කෙසේ වුවද ඒ අතර සිටි චීන ජාතිකයන් 19 දෙනෙකු පලාගොස් තිබුණේ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබියදීයි.
අනතුරුව ඔහු සමීප සබඳතාවක් පැවැත් වූ කාන්තාවක් ඔස්සේ අදාළ චීන ජාතිකයන් සම්බන්ධ කරගෙන, ගුවන් ගමන් බලපත්‍ර නිදහස් කිරීමට එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා ඇති බව සඳහන්.
කෙසේ වුවද ඒ පිළිබඳව චීන ජාතිකයන් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙන අතර, පොලිස්පතිවරයා එම පැමිණිල්ල පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට යොමු කර ඇත. ඒ අනුව පසුගිය මැයි 17 වැනි දින එම කාර්යාංශ නිලධාරීන් වැලිකඩ පොලිසිය පරීක්ෂා කර තිබෙන අතර, එහිදී ස්ථානාධිපතිවරයා අදාළ ගුවන්ගමන් බලපත්‍ර තොගය ලොකරයක තිබී විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබෙනවා.
අනතුරුව එම විමර්ශන භාරව සිටි වැලිකඩ පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙන අතර, එහිදී ඔවුන් කියා ඇත්තේ, ස්ථානාධිපතිවරයා අදාළ ගුවන්ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් නොකර ඔහු සතුව තබාගත් බවයි. තවද ස්ථානාධිපතිවරයා සූක්ෂ්ම ආකාරයට ඉකුත් 20 වැනිදා බී වාර්තාවක් හරහා අදාළ ගුවන්ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇතැයිද විමර්ශනවලදී හෙළි වී ඇත.
එබැවින් නීතිවිරෝධි ආකාරයට අන්සතු ගුවන්ගමන් බලපත්‍ර තොගයක් තමන් සතුව තබාගැනීම, සාපරාධි සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අද වේයන්ගොඩ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු වසර 2ක පමණ කාලයක් වැලිකඩ පොලිසියට අනුයුක්තව සේවය කර තිබෙන අතර, එම කාලය තුළදී ඔහුගේ ක්‍රියාකලාපය නිසා පොලිස් නිලධාරීන් 20ක් පමණ සේවය හැරගොස් ඇති බවට තොරතුරු වාර්තාවන බව පොලිසිය වාර්තා කළා.
එසේම අදාළ නිලධාරියා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිය සමීප හිතවතෙකු යැයි නිතර පවසන බවද සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වේ.