උතුරු නැගෙනහිර ජනතාවට සුබ ආරංචියක් - සියලු බිම්බෝම්බ ඉවත් කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 400ක පමණ මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය පියවර ගෙන ඇත.
ඒ අනුව ජපාන රජයේ ‘Grassroots Human Security Projects’ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් 1,343,202 ක මෙම මූල්‍ය ආධාරය පිරිනමා ඇති බව සඳහන්.
ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත රාජ්‍ය නොවන සංවිධාන තුනක් වන MAG, HALO Trust සහ DASH යන ආයතනවල ප්‍රධානීන් අතර සිදු විය.
ඒ අනුව මෙම නව ව්‍යාපෘතිය යටතේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල වර්ග මීටර් 400,000කට ආසන්න භූමි ප්‍රමාණයක් බිම්බෝම්බවලින් මුදා හැරීමට අපේක්ෂා කරයි.
ඒ ඔස්සේ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයන් 3,100කට අධික පිරිසකට නැවත සිය මුල් ඉඩම් වෙත පදිංචියට යාමටත්, අවට ප්‍රදේශවල වෙසෙන තවත් 22,000කට ආසන්න ජනතාවකට බියෙන් සැකෙන් තොරව තම ජීවනෝපාය කටයුතු සිදුකර ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇති බව පවසයි.
එමෙන්ම අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජපානය 2002 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛ පෙළේ දායකත්වයක් ලබා දී තිබෙන අතර, ඒ සඳහා මේ දක්වා ලබා දී ඇති සමස්ත ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 49 ඉක්මවන බවයි.