අහුවුණොත් ඉවරයි රථවාහන දඩ මුදල් වංචාවක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්
CCTV දර්ශන මඟින් රථවාහන වැරදි හඳුනාගත් බව පවසමින් ශ්‍රී ලංකා පොලීසියේ නමින් රියදුරන් වෙත ව්‍යාජ SMS සහ Whatsapp පණිවිඩ යොමු කරමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
වංචාකරුවන් විසින් විවිධ පුද්ගලික දුරකථන අංක භාවිත කරමින් මෙම ව්‍යාජ පණිවිඩ යොමු කරන අතර, අදාළ රථවාහන වැරදි සඳහා නියමිත දඩ මුදල් වහාම පියවන ලෙස දන්වමින් එහි විශේෂ වෙබ් සබැඳියක් ද ඇතුළත් කර තිබේ.
එම පණිවිඩය කියවන රියදුරන් නොමඟ යවමින් දඩ මුදල් ගෙවීම සඳහා https://thecourierguy.cu.cc/lk දරණ ව්‍යාජ වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස එහි උපදෙස් දී ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙම හොර වෙබ් අඩවිය වෙත පිවිසෙන රියදුරන්ට දඩ මුදල් ගෙවීමේ පියවරක් ලෙස හඟවමින් එහි ඇති සැකසුම් ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට සලස්වන බවත්, ඒ හරහා එම පුද්ගලයන්ගේ ණය කාඩ්පත් තොරතුරු ඇතුළු අතිශය රහස්‍ය බැංකු දත්ත ඉතා සූක්ෂම අයුරින් සොරකම් කිරීමට වංචාකරුවන් කටයුතු කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව රජයේ නිල ගෙවීම් කටයුතු සඳහා භාවිත කරන govpay වෙබ් අඩවියේ පෙනුමට සමාන වන අයුරින් මහජනතාව රවටා මුදල් වංචා කිරීමේ අරමුණින්ම මෙම ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කර ඇති බව පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම සයිබර් අපරාධය හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමයට මෙන්ම මහජන විශ්වාසයට ද දැඩි හානියක් සිදුවන බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය අංශය, ජංගම දුරකථන වෙත ලැබෙන මෙවැනි සැකකටයුතු ව්‍යාජ පණිවිඩවල ඇති සබැඳි වෙත පිවිසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
වර්තමාන නීතිමය ක්‍රමවේදයන්ට අනුව යම් රථවාහන වරදක් සිදුකිරීමෙන් පසු ඒ පිළිබඳව පොලිස් නිලධාරියෙකු විසින් සෘජුව දැනුම් දීමක් කර, රියදුරු විසින් වරද පිළිගත් විටකදී පමණක් govpay යෙදවුම හරහා නිල දඩ පත්‍රිකාවක් නිකුත් කරනු ලබන බවත්, එලෙස නිල වශයෙන් ලැබෙන දඩ පත්‍රිකාවකට පමණක් අදාළ ගෙවීම් සිදුකිරීමට වගබලා ගන්නා ලෙසත් පොලීසිය සිහිපත් කරයි.