මාතලෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක් - දුම්බර ලෝක උරුම වනාන්තරයේ අද්විතීය බව වැඩි කරමින් හමුවූ දේ මෙන්න
මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර කඳු වැටියට අයත් පුවක්පිටිය නිම්නයෙන් ශ්‍රී ලංකාවට ආවේණික නවතම ක්ෂීරපායී (මීයන්) විශේෂයක් විද්‍යාත්මක ලොවට අනාවරණය කිරීමට මෙරට පර්යේෂකයින් පිරිසක් සමත්ව ඇත.
මෙම නව සොයාගැනීම සිදුකර ඇත්තේ මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, මහාචාර්ය මාධව මීගස්කුඹුර සහ ආචාර්ය කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි විසින් සිදුකළ දීර්ඝ පර්යේෂණයකින් පසුවයි.
එමෙන්ම මෙම නව විශේෂයට අදාළ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන "ZooKeys" හි පළ කර ඇත.
එම නව ජීවී විශේෂයේ නාමකරණයන් පහත ආකාරයට වේ,
විද්‍යාත්මක නාමය (Scientific Name): Mus DUMBARA
ඉංග්‍රීසි නාමය (English Name): Dumbara valley spiny mouse
සිංහල නාමය (Sinhala Name): දුම්බර කටු හීන් මීයා
පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් මෙම ගණයට අයත් මීයන් බහුතරයක් වියළි කලාපීය පරිසර පද්ධතිවලින් වාර්තා වුවද, මෙම නව විශේෂය තෙත් කලාපීය කඳුකර වනාන්තරයකින් හමුවීම සුවිශේෂී කරුණක් බවයි.
එමෙන්ම දුම්බර ලෝක උරුම වනාන්තර සීමාවෙන් තවත් ආවේණික විශේෂයක් වාර්තා වීම හේතුවෙන් එම පරිසර පද්ධතියේ ඇති අද්විතීය ජෛව විවිධත්වය නැවත වරක් තහවුරු කරයි.