2022 අපි බංකොළොත් රාජ්‍යයක් වුණත් 2019 තිබුණ ආර්ථිකය අපට ලබන අවුරුද්දේ ලබාගන්න පුළුවන්, ජනපතිගෙන් සහතිකයක්
ආර්ථිකය කඩාවැටුණු රටකට නැවත පැවති තත්ත්වෙට පැමිණීමට වසර දහයක් ගතවන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන්නද ශ්‍රී ලංකාව 2022 ට පෙර තිබූ තත්ත්වයට එළඹෙන වසරේදී ගෙන ඒමට හැකියාව ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
ඇමරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සහභාගි වීමෙන් පසුව ඇමරිකාවේදී නිවුයෝක් නගරයේදී ශ්‍රී ලාංකිකයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ,
“ජනාධිපතිවරයෙන් ලබාගත් ජයග්‍රහණයට විශාල සහයෝගයක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඉටුකළා. මූල්‍යමය ලෙස උදව් කළා. ඒ දායකත්වය ජයග්‍රහණ ලබාගන්න හේතු වුණා. අපි 2019 මැතිවරණයේ දී 3%කට ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් හිමිව තිබූ ව්‍යපාරයක්. නමුත් 2024 ජනාධිපතිවරණයේදීත්, පසුව පැවති මහ මැතිවරණයේදීත් ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිකරගනිමින් ජයග්‍රහණය කරන්න ලැබුණා. 2022 අප්‍රේල් 12 වනදා එවක ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා අපි ණය ගෙවන්නේ නෑ. බංකොළොත් රාජ්‍යයක් බවට පත්වුණා කියලා. ඒ කාලයේ පාලන බලයට පත්වෙලා හිටිය පාලකයා ලංකාවේ පළමු වතාවට ජනතාව ගිහින් පළවා හැරියා. අපට තිබුණා අභියෝගයන්ගෙන් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම. අනෙක නැවත කිසි දිනක ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම. අවුරුද්දක් යටකොට අපේ රට ගිලී තිබුණ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගන්න සමත් වුණා. සියලු ජාත්‍යන්තර සංවිධාන, රේටිංග්ස් සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය සමාගම් මේ සියල්ල ඉදිරිපත්කළ වාර්තා තුළ තියෙන්නේ ශ්‍රී ලංකාව අර්බුදයකදී එය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් ලෙස. ආර්ථික විශේෂඥයන් හදුන්වනවා මෙලෙස ආර්ථිකයක් කඩා වැටුණහම ඒ රටට අවුරුදු 10ක් යනවා යළි තිබුණු තත්ත්වයට එන්න. 2022 නම් කඩා රට වැටෙන්නේ, ඊට පෙර තිබුණ තත්ත්වය ඇතිවීමට 2032 වෙනවා. හැබැයි අපි හිතනවා කඩාවැටීමට පෙර 2019 තිබුණ ආර්ථිකය අපට ලබන අවුරුද්දේ ලබාගන්න පුළුවන් කියලා”