‘අනුර පරිණත නායකයෙක්’ - නාමල් ඉන්දියාවට ප්‍රසිද්ධියේ කියයි
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ දකුණු මුහුදේදී ඉරාන යුද නෞකාවකට ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීම සම්බන්ධයෙන් කලාපීය නායකයන් පරිණත ලෙස කටයුතු කරනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කරයි.
ඉන්දියා ටුඩේ වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පරිණත නායකයන් බවයි. දේශපාලනික හා මතිමතාන්තරාමක වශයෙන් තමන් සහ ජනාධිපතිවරයා අතර වෙනස්කම් පැවතුණ ද ඔහු පරිණත නායකයකු බව තමන් අවධාරණය කළ යුතු යැයි ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම සිදුවීමට හේතු වූ මෙහෙයුම පිළිබඳ ශ්‍රී ලංකා රජයට පූර්ව දැනුමක් තිබුණේ ද යන්න පැහැදිලි කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
විපතට පත් වූවන් සඳහා ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කිරීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අන්තර්ජාතික නීතියට අනුකූලව ක්‍රියා කර ඇති බවත්, එම මෙහෙයුම පිළිබඳ පූර්ව දැනුමක් තිබුණේ ද යන්න සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම දැන් ශ්‍රී ලංකා රජයට ප්‍රශ්නයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අදාළ මෙහෙයුම පිළිබඳ රජය අඳුරේ තබා තිබුණේ නම්, එක්සත් ජනපද බලධාරීන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව ද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මෙම සිදුවීම කලාපීය භූ දේශපාලනික තත්ත්වයන්ට බලපෑම් එල්ල කළ හැකි බැවින්, සියලු පාර්ශ්වකරුවන්ගේ පරිණතභාවය අපේක්ෂා කෙරෙන බවත් ඔහුගේ අදහස විය.