කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවට බොන්න වතුර නැති වන ලකුණු.

Sri Lanka Water Board
By Wayomi Mar 08, 2023 12:43 PM GMT
Wayomi

Wayomi

Report

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාව සපුරාලනු ලබන කැලණි ගඟේ ජලය නිසි පරාමිතීන්ද ඉක්මවා දූෂණයට ලක්ව ඇති බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඊයේ(7) අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, කැලණි ගඟ ආශ්‍රිතව කෙරෙන මැණික් ගැරීම් නිසා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ගඟ හරහා ගලා එන මඩ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්.පී.ඒ.ටී. පෙරේරා සඳහන් කළේ, ගඟේ ජලය පිරිපහදු කිරීමට පෙර සිදුකරන ජල සාම්පල පරීක්ෂාවේදී ඒ බව අනාවරණය වූ බවයි.

එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

කැලණි ගඟේ ජලයෙන් අඹතලේ ජල පොම්පාගාරය හරහා දිනකට ඝන මීටර් ලක්ෂ 5 ½ ක් කොළඹ දිස්ත්‍රික්කයටද, බියගම ජල පොම්පාගාරයෙන් දිනකට ඝන මීටර් ලක්ෂ 3 ½ ක් ගම්පහ දිස්ත්‍රික්කයට ද බෙදා හරින බවත්,

මීට අමතරව අවිස්සාවේල්ල ප්‍රදේශයට දිනකට ඝන මීටර් 5000 ක් බෙදා හරින බවත්, ඉන් පිරිපහදු කෙරෙන්නේ ඝන මීටර් 2500 ක් බවද ඔහු පැවසීය. ඉතිරි ඝන මීටර් 2500 පිරිපහදු කරන පොම්පාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන වසර (2024) වන විට ඉදිකර අවසන් කිරීමට හැකිවනු ඇති බවත්ය.

එමෙන්ම කැලණි ගඟේ ජලය සියයට සියයක්ම පිරිපහදු කිරීමට නොහැකි බවත්, ගඟට වැඩිපුරම අප ජලය එකතු වන්නේ කර්මාන්තශාලාවලින්ද බවත්, බියගම සහ සීතාවක ආයෝජන මණ්ඩල කලාපවල ඇතැම් කර්මාන්තශාලාවලට යෑමේ අපහසු තත්ත්වයන්ද පවතින බවත්, කැලණි ගඟ ආශ්‍රිතව දිවා රාත්‍රී කාලයේ අඛණ්ඩව ක්‍රියාත්මක පතලක් තිබෙන බවත්,එහි කිරි මැටි සියල්ල ගඟට බැහැර කිරීම නිසා ගඟ දැඩි දූෂණයට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කළා.

පසුව මේ පිළිබඳව සොයා නොබලන්නේ ඇයිදැයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රදීප් උදුගොඩ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ගඟ ආශ්‍රිතව අනවසර මැණික් ගැරීමක් සිදුවන බවත්, ඒ සම්බන්ධව අවසාන අනුමැතිය ලබා දෙන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් බවත්ය.

ඒ, අනුව මෙම පරිසර හානිය වැළැක්වීමට වහාම මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් වියයුතු බවත්,මධ්‍යම පරිසර අධිකාරියේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කැඳවා අනු කමිටුවක් පිහිටුවා මෙම පරිසර ගැටලුව නිරාකරණය කරන ලෙසත් සභාපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW   


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,... ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්