රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් දැඩි අනතුරු ඇගවීමක්..සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ ලිපියක්

COVID19 GMOA HEALTH MINISTRY ASELA GUNAWARDHANA VACCINE RECOVERY CLINIC
By Sewvandhi Nov 24, 2021 03:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ජනතා විශ්වාසය බිඳ වැටෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන ''Vaccine Recovery Clinic" වැඩසටහන පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් කියා සිටින්නේ, ඉහත කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අම්පාර පර්යන්ත ශාඛාව විසින් තමන් වෙත දක්වා ඇති කරුණු හා සම්බන්ධව අදාළ ලිපිය යොමු කරන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අම්පාර පර්යන්ත ශාඛාවට අනුව "කොවිඩ් මරණ වළක්වමු එකමුතුව" නම් සංවිධානය මගින් ''Vaccine Recovery Clinic" නමින් වැඩසටහනක් අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම නිරෝධායන පනතේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වන ඔබ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අනුමැතියකින් තොරව ඉහත සංවිධානය ක්‍රියාත්මක වන බවට ද මෙම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් මර්දනයට සඳහා සෞඛ්‍ය අංශය දැඩි පරිශ්‍රමයකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය අපකීර්තියට හා ජනතා විශ්වාසය බිඳ වැටෙන ලෙස ඉහත සංවිධානය විසින් සිදු කරන ක්‍රියාවලිය සඳහා නිරෝධායන පනතේ නිසි බලධාරියා ලෙස කඩිනමින් ක්‍රියාත්මක වී කොවිඩ් වසංගතය පාලනයට හා එන්නත්කරණය ගැන ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW