රුධිර පරිත්‍යාග කරන්නන්ට අනතුරු ඇඟවීමක්
කොවිඩ් -19 මර්දන එන්නතේ කවර හෝ මාත්‍රාවක් ලබා සතියක් නොඉක්මවු පුද්ගලයින්ගෙන් රුධිරය ලබානොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.
රුධිරය ලබාගැනීමේදී බෝවන රෝග 05ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙන අතර එම පරීක්ෂණවල ප්‍රතිඵලවලට කොවිඩ් එන්නත මගින් බලපෑමක් සිදුවීමට හැකියාව පවතින බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.
මේ හේතුවෙන් කොවිඩ් මර්දන එන්නතේ පළමු හෝ දෙවන මාත්‍රාව ලබා සතියක් නොඉක්මවු පුද්ගලයින්ගෙන් රුධිරය ලබානොගන්නා බව ඔහු සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ආරක්ෂිත රුධිර සංචිත පවත්වාගෙන යෑමට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හැකියාව පවතින බවය. එමෙන්ම කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ ආසාදිතයෙක් ඇසුරුකර ඇත්නම් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් වළකින ලෙස ද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රුධිරය හෝ රුධිර සංඝටක මගින් කොවිඩ් රෝගය ම්ප්‍රේෂණය වන බවට වෛද්‍ය විද්‍යාත්මකව මෙතෙක් තහවුරු වී නොමැති වුවද කොවිඩ් රෝගියෙකුගෙන් රෝහල් කාර්යමණ්ඩලයට වෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව පවතින බව වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.