ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ වප් පොහොය දිනය අදයි.
අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
බෞද්ධ සැදැහැවත් ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වනවා.
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම
මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම
සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම
අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වනවා.
බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වස් සමාදන්ව මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කර රන් ඉනිමඟින් දඹදිව සංකස්ස නගර ද්වාරයට වැඩම කළේත් වප් පොහෝ දිනයේදීයි.
එමෙන්ම දෙවන පෑතිස් රජුට ඥාතීත්වයක් ඇති අරිට්ඨ අමාත්‍යවරයා මෙහෙණි සස්න පිහිටුවීමට හා ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරගෙන ඒමට දූත පිරිසක් දඹදිවට පිටත්කර හැරියේත් මෙම වප් පෝ දිනකදීයී.
අරිට්ඨ කුමරු මහණ උපසම්පදා ලැබගෙන පන්සීයක් පිරිස සමඟ මහණ උපසම්පදාව ලබාගත් පසු ධර්ම විනය හදාරා ථූපාරාමයට රැස්වී විනය සංගායනාවක් සිදුකරන ලද්දේ ද අදවන් වප් පුන් පොහෝ දිනකදීයී.
‘වස්සානේ වස්සං උපගන්තුං‘ යන බුද්ධ නියමයට අනුව උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින පොහොය කර අව පැළවිය දවසේ පෙරවස් සමාදන් වූ භික්ෂු වස් තෙමස අවසන්ව මහා පවාරණය සිදු කරන්නේ මෙම වප් පොහෝ දිනයි.
වප් පොහෝ දිනට පසු දින සිට ඊළඟට එළඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය ලෙස නම්කර තිබෙනවා.
මෙම මාසය චීවර මාසය ලෙස නම් කරනු ලබන්නේ වසරකට වරක් සිදුකරන කඨින චීවරයන් පූජා කිරීමට අවස්ථාව උදාවන්නේ මෙම මාසය තුළ නිසාවෙන්.
කෙසේවෙතත් මෙවර කඨින පූජා පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සිදුකරන ලෙසයි සෞඛ්‍ය අංශ දන්වා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |