සියලුම ආබාධිතයන්ට ඡන්දය ලබා දීමේ පහසුකම්...
මෙවර ජනාධිපතිවරණයේදී සියලුම ආබාධිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ, දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට දිවයිනේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවලදී මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.
ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙම වැඩසටහන නියමු ව්‍යාපාතියක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන කීපයක ක්‍රියාත්මක කරනු ලැබීය.
මේ අනුව ජනාධිපතිවරණයේ දී දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සඳහා විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබාදීමට නියමිතය.
එමෙන්ම ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා සංඥා භාෂාව සම්බන්ධ දැනුමක් ඇති පුද්ගලයන් කිහිප දෙනකු තෝරාගත් ඡන්ද මධ්‍යස්ථාන යම් ප්‍රමාණයකට යෙදවීමට කටයුතු කරන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
එමෙන්ම මැතිවරණයට අදාළ වචන 235 ක් සහිත සංඥා භාෂාවක්ද සකස් කර තිබෙන බවත් එය ඕනෑම අයකුට පරිහරණය කිරීමේ හැකියාව පවතින බවද ඔහු පැවැසීය.
එමෙන්ම, චලන ආබාධ සහිත පුද්ගලයන්ට පහසුවෙන් ඡන්ද මධ්‍යස්ථානය තුළ ගමන් කිරීමට හැකි පරිදි අත්වැටවල් ආදිය සකසා පහසුකම් සැපයීමට ද කටයුතු යොදා ඇත.
මීට අමතරව උසින් අඩු ඉතා මිටි පුද්ගලයන් සඳහා ඡන්ද පෙට්ටිය පහළ ස්ථානයක තබා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදීමට නියමිතය.
මෙහිදී දෘෂ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිතයන් වෙනුවෙන් කටයුතු කරන සංගම්වල සහයෝගය ලබා ගැනීමට ද මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
