මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් - ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිල තත්ත්වය ගැන දැනුම්දීමක්
ශ්රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය මගින් එම කොමිසම සඳහන් කර ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් වූ නමුත්, 2025 වසරේ සිට ප්රතිවිරුද්ධ කණ්ඩායම් අතර මතුවූ ලේකම් ධුරය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එම පක්ෂය ලේකම් ධුරයේ ගැටලු සහිත පක්ෂයක් ලෙස නම් කර ඇති බවයි.
අදාළ ගැටලුව විසඳන ලෙසට ලැබුණු ඉල්ලීම් මත ඒ හා සම්බන්ධ පාර්ශ්ව පසුගිය 06 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා සාකච්ඡා කළ බවත් කොමිසම සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
එම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම එකඟත්වය මත තීරණය වී ඇත්තේ, ලේකම් ධුරයේ ගැටලුව සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුවක් ලැබුණු පසුව මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සුදුසු බවට කරුණු ඉදිරිපත් වූ බවයි.