අත්අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු පිරිසට නියෝගයක් - මත් ද්‍රව්‍ය පානය කර ඇත්දැයි සොයන්න විමර්ශනයක්
අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා ද වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන ලෙසට අධිකරණය නියෝග කර ඇත.
අදාළ කලහකාරී සිද්ධිය අතරතුර පොලිස් භාරයට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනා නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කළේය.
කස්සප හිමි ඇතුළු තුන්නමක් මාරාන්තික උපවාසයක නිරතව සිටි රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඊයේ (12) දැඩි කලහකාරී තත්ත්වයක් ඇති වුණේ භික්ෂූත්වයෙන් නෙරපා ඇති බවට සඳහන් වන රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟය.
එහිදී දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර, එම ගැටුමේදී රාජාංගණයේ සද්ධාරතන නමැත්තාගේ හිසට පොලු ප්‍රහාරයක් එල්ල වී තිබුණි. තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර පොලිස් භාරයට ගත් කස්සප හිමි ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.
ඒ අනුව, සැකකරුවන් ප්‍රතිකාර ලබමින් සිටි අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඊයේ රාත්‍රියේ ගිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මේ අතර, පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර ඇත.
ජනාධිපතිතුමනි මාව ආරක්ෂා කරන්න ජීවිතේ අනතුරේ බේරුණේ පෙර පිනකට - පහර කෑමට ලක් රාජාංගනයේ සද්ධාරතනහිමිගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්
කෙසේ වෙතත්, රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ප්‍රතිකාර ලබා අද (13) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින අතර, පාර්ශ්ව රැසක් චෝදනා කරන්නේ ඔහු ආණ්ඩුවේ උවමනාවක් මත පැමිණ පූජා භූමියේ කලහකාරී තත්ත්වයක් ඇති කළ බවය.